30 C
Galle

ඩෙංගු අවදානම හමුවේ පාසල් දරුවන්ට අමතර ඇඳුම් ඇඳීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවසර

Published:

දිවයින පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝග ව්‍යාප්තිය හමුවේ පාසල් දරුවන් ඩෙංගු මදුරු දෂ්ටනවලින් ආරක්ෂා කරගැනීම සඳහා, පාසල් නිල ඇඳුමට අමතරව ශරීරය වැසෙන සුදුසු ඇඳුම් ඇඳීමට අවසර දෙන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පාසල් විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.

අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, මදුරු දෂ්ටනවලින් වඩාත් හොඳින් ආරක්ෂා විය හැකි පරිදි දරුවන්ගේ දෑත් සහ දෙපා වැසෙන සුදුසු ඇඳුම් සඳහා මෙලෙස අවසර ලබා දිය යුතු බවයි. මීට අමතරව, නිසි ප්‍රමිතියෙන් යුත් මදුරු විකර්ෂක (Mosquito Repellents) භාවිතය පිළිබඳව සිසුන් දැනුවත් කරන ලෙසද විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.

ඩෙංගු රෝගීන් 68,000 ඉක්මවයි, මරණ 47ක්

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව, මේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 68,071 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පසුගිය ජූනි මාසයේදී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 21,538 කි. එමෙන්ම ජූලි මාසයේ ගතවූ පළමු දින 12 ක කාලය තුළ පමණක් තවත් රෝගීන් 12,692 දෙනෙකු වාර්තා වී තිබීම විශේෂත්වයකි.

පළාත් මට්ටමින් ගත්කළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 35,823 කි. ඊට අමතරව, දකුණු පළාතෙන් රෝගීන් 10,657ක් ද සබරගමුව පළාතෙන් රෝගීන් 5,756 ක් ද මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,560 ක් ද වාර්තා වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!