සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති පියවරට විරුද්ධව වනජීවී දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති සාමාජිකයින් අද (13) අසනීප නිවාඩු වාර්තා කරමින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද දිනයේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කර ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉන්දික පීරිස් මහතා අවධාරණය කළේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වර්තමානයේ සේවය කරන සියලුම නිලධාරීන්ට අගතියක් වන අයුරින් අත්තනෝමතික ලෙස මෙම බඳවා ගැනීම් සිදු කිරීමට උත්සාහ කරන බවයි.
“අපි බඳවා ගැනීමට විරුද්ධ නැහැ, හැබැයි මේ ක්‍රමවේදයේ තියෙන අඩුපාඩු සම්බන්ධයෙන් අපිත් එක්ක සාකච්ඡා කරන්න අවස්ථාවක් දෙන්න කියලා අපි ඉල්ලා සිටියා. නමුත් ඔහුගේ අත්තනෝමතික භාවය නිසා හිතුමතේට මේක වැරදි ආකාරයෙන් සිද්ධ කරනවා. මෙයින් ක්ෂේත්‍ර සහයක, වනසත්ව නියාමක, අඩවි සහකාර, අඩවි ආරක්ෂක ඇතුළු සියලුම නිලධාරීන්ට බරපතල හානියක් වෙනවා. 13 වෙනිදාට පෙර සාකච්ඡාවක් ඉල්ලුවත් අපිට ඒක ලැබුණේ නැහැ. මේ තත්ත්වය නිර්මාණය කළේ ඔහුමයි,” යැයි ඉන්දික පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහසු දක්වමින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා සඳහන් කළේ, සේවකයින්ගේ ගැටලු සඳහා සාකච්ඡාවක් දැනටමත් ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත්, සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී දෙපාර්තමේන්තුව සඳහා අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය මඟින් විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්, එමඟින් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරනු ඇති බවත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



