තායිලන්තයේ ඊසානදිග කලාපයේ පිහිටි කලසින් (Kalasin) ප්‍රාන්තයෙන් හමුවූ පොසිල (ෆොසිල) කොටස් ඇසුරින් මෙතෙක් ලෝකයෙන් වාර්තා නොවූ නව ඩයිනෝසර විශේෂයක් සොයා ගැනීමට එරට පුරාවිද්‍යාඥයන් සමත්ව තිබේ.
ශාක භක්ෂක ඩයිනෝසරයෙකු වන මෙම සත්වයා මීට වසර මිලියන 150කට පමණ පෙර (ජුරාසික් යුගයේ අගභාගයේදී) ජීවත්ව ඇති බව විශ්වාස කෙරේ. ඌ විද්‍යාත්මකව “උරගසෝරස් කලසිනෙන්සිස්” (Uragasaurus kalasinensis) ලෙස නම් කර ඇත.
මෙම නව ඩයිනෝසර විශේෂයට අසාමාන්‍ය ලෙස දිගු බෙල්ලක් පිහිටා තිබී ඇති අතර, ඌ දිගින් මීටර් 20ක් (අඩි 66ක්) පමණ වී ඇති බව පර්යේෂකයෝ පවසති. එය දළ වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාංගණයක තණතීරුවක (Pitch) දිගට සමානය.
සීටී (CT) පරිලෝකන පරීක්ෂණ මඟින් තහවුරු වී ඇත්තේ මෙම සත්වයා සෞරොපොඩ් (Sauropod) ඩයිනෝසරයන්ට අයත් ‘මමෙන්චිසෝරිඩේ’ (Mamenchisauridae) පවුලට අයත් වන බවයි. ඔවුන්ගේ ඇති අතිශය දිගු බෙල්ල නිසා විවිධ උසින් පිහිටි ශාක පත්‍ර ආහාරයට ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ. මෙම පවුලට අයත් ඩයිනෝසර පොසිල බහුතරයක් මීට පෙර චීනයෙන් හමුවී ඇති අතර, තායිලන්තයෙන් මෙවැනි සත්වයෙකු හමුවූ පළමු අවස්ථාව මෙය වෙයි.
මෙම අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ, තායිලන්තයේ මහාසාරාඛම් (Mahasarakham) විශ්වවිද්‍යාලයේ ආචාර්ය අපිරුත් නිල්පනපන් (Dr Apirut Nilpanapan) මහතා බීබීසී (BBC) පුවත් සේවයට ප්‍රකාශ කළේ, මෙම සත්වයා සොයාගත් ‘ෆු නොයි’ (Phu Noi) කලාපය මුලින්ම හඳුනාගත්තේ 2008 වසරේදී බවයි. ඒ ප්‍රදේශයේ පුද්ගලයෙකුට නාග කොරපොතු වැනි පොසිල කැබලි කිහිපයක් හමුවීමත් සමඟය. පසුව කළ කැණීම්වලදී එම ස්ථානයෙන් ඩයිනෝසර දත් සහ ඇටකටු ඇතුළු පොසිල විශාල ප්‍රමාණයක් හමු විය.
කෙසේ වෙතත්, මෙම නව විශේෂය හඳුනා ගැනීමට ප්‍රධානතම සාක්ෂිය වී ඇත්තේ සත්වයාගේ පිට මැද හෝ ඉහළ කොටසට අයත් කශේරුකාස්ථියක් (Dorsal vertebra) වේ. එම අස්ථියේ ව්‍යුහය පරීක්ෂා කිරීමේදී, වෙනත් කිසිදු ඩයිනෝසරයකුට නොමැති, ඉංග්‍රීසි ‘Y’ අකුරේ හැඩයට සැකසුණු අස්ථි රටාවක් (Laminae) සහ සුවිශේෂී වායු කුහර ව්‍යුහයක් (Air-cavity structure) සොයා ගැනීමට හැකි වී තිබේ.
“මේ ලක්ෂණ ලෝකයේ වෙනත් කිසිම ඩයිනෝසරයකුට නැහැ. මෙය නව විශේෂයක් බව තහවුරු වූ මොහොතේ ඇති වූ දැඩි සතුට සහ සහනය නිසා මම මගේ පරිගණකයට පවා පහර දුන්නා,” යැයි ආචාර්ය නිල්පනපන් මහතා පවසා සිටියේය.
මෙම සුවිශේෂී පර්යේෂණ වාර්තාව ලොව සුප්‍රකට ‘නේචර්’ (Nature) විද්‍යාත්මක සඟරාවේ පසුගියදා ප්‍රකාශයට පත් කර ඇත.
මීට පෙර පසුගිය මැයි මාසයේදී ද තායිලන්තයෙන් ‘නාගටයිටන්’ නමැති තවත් දිගු බෙල්ලක් සහිත ශාක භක්ෂක ඩයිනෝසර විශේෂයක් විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබුණි. ඌ දිගින් මීටර් 27ක් (අඩි 88ක්) වූ අතර බරින් ටොන් 27ක්, එනම් ආසියානු අලි අට දෙනෙකුගේ බරට සමාන විය. ඌ අග්නිදිග ආසියාවෙන් මෙතෙක් හමු වූ විශාලතම ඩයිනෝසරයා ලෙස ඉතිහාසයට එක්ව ඇත.



