ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙනියාය නව මූලික රෝහල සඳහා රුපියල් මිලියන 600ක් වටිනා නවීන වෛද්‍ය උපකරණ ලබාදීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට (MoU) අද අත්සන් තබා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
මෙම ව්‍යාපෘතිය ඉන්දියාවේ “Aftermath Cyclone Ditwah Project” වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන අතර, සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ සෞඛ්‍ය යටිතල පහසුකම් යළි සංවර්ධනය කිරීම එහි අරමුණයි. ඒ අනුව, නව ස්ථානයකට ගෙන යන දෙනියාය මූලික රෝහල සඳහා අත්‍යවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ ලබාදීමට නියමිතය.
ගිවිසුම පිළිබඳ අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, මෙය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දශක ගණනාවක් පුරා පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන අවස්ථාවක් බව සඳහන් කළේය.
ඉන්දීය රජය සහ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ලබාදෙන මෙම මූල්‍ය දායකත්වය මගින් ප්‍රතිකාර සේවා පුළුල් කිරීම, රෝග විනිශ්චය සහ ප්‍රතිකාරවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි වන බවද අමාත්‍යවරයා පැවසීය.
වර්තමාන දෙනියාය මූලික රෝහල පිහිටි භූමිය නායයෑම් අවදානමට ලක්ව ඇති අතර, රෝහල පුළුල් කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩක් නොමැති වීම හේතුවෙන් නව ස්ථානයකට ගෙන යාමට තීරණය කර ඇත. භූ විද්‍යාත්මක සහ තාක්ෂණික ඇගයීම්වලින් අනතුරුව දෙනියාය නගරයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි හැන්ඩ්ෆෝඩ් වත්ත නව රෝහල සඳහා තෝරාගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියන 6ක (රුපියල් මිලියන 6,000ක) ආයෝජනයක් යටතේ ඇඳන් 300කින් සමන්විත නවීන රෝහලක් අදියර දෙකකින් ඉදිකිරීමට සැලසුම් කර ඇත.
පළමු අදියර යටතේ පිරිමි, කාන්තා, ළමා හා මාතෘ වාට්ටු, ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකකය (ICU), හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර අංශය, රුධිර බැංකුව ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් ඉදිකිරීමට නියමිතය. එමෙන්ම රෝගීන් සඳහා වෙනම ප්‍රවේශ මාර්ග සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා නිල නිවාස ද ව්‍යාපෘතියට ඇතුළත් කර ඇත.
මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, වසර තුනක් ඇතුළත එය නිම කිරීමට අපේක්ෂා කෙරේ.
අනාගතයේදී තවදුරටත් පුළුල් කළ හැකි, පරිසර හිතකාමී සහ ස්වාභාවික ආපදා තත්ත්වයන්ට ඔරොත්තු දිය හැකි නවීන සෞඛ්‍ය ආයතනයක් ලෙස දෙනියාය නව මූලික රෝහල සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.



