27.4 C
Galle

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාව ගැන ස්ථිර තීරණයක් නැහැ

Published:

විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (14) ප්‍රකාශ කළේය.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කැබිනට් මණ්ඩලය මේ පිළිබඳව මූලික වශයෙන් සාකච්ඡා කර ඇති බවයි. එහිදී උසාවිවල පවතින අධික නඩු ප්‍රමාණය, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ සිදුවන ප්‍රමාදයන්, අධිකරණ නිලධාරීන්ගේ හිඟය, වෘත්තිකයන් රට හැර යාම මෙන්ම මිනිසුන්ගේ ආයු අපේක්ෂාව ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු වූ බව ඔහු පැවසීය.

රජය මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අවසන් තීරණයකට එළඹීමට පෙර මේ පිළිබඳව තවදුරටත් වාර්තා ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් දී ඇති බවද ප්‍රකාශ කළේය.

“රජය මෙතෙක් තමන්ගේ අවසන් ස්ථාවරය ප්‍රකාශ කර නැහැ. කැබිනට් මණ්ඩලය විසින් සිදු කළේ මූලික සාකච්ඡාවක් පමණයි. ඒ වගේම මේ පිළිබඳව තවත් තොරතුරු අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා,” යැයි ඔහු සඳහන් කළේය.

මෙම වයස් සීමාව ඉහළ දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වකරුවන් විසින් එකිනෙකට වෙනස් අදහස් හා මත පළ කර ඇති බවත්, අවසන් තීරණයක් ගැනීමට පෙර එම සියලු මතයන් ද සැලකිල්ලට ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියේ, අධිකරණ නිලධාරීන් බඳවා ගැනීමට උත්සාහ කළද, සුදුසුකම් සපිරූ අයදුම්කරුවන් නොමැතිකම හේතුවෙන් තවමත් පුරප්පාඩු පවතින බවයි. උදාහරණයක් ලෙස, මහේස්ත්‍රාත්වරුන් 50 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර තිබුණද, ඉන් බඳවා ගැනීමට හැකි වී ඇත්තේ අපේක්ෂකයින් 33 දෙනෙකු පමණක් බව ඔහු මෙහිදී අනාවරණය කළේය.

Related articles

spot_img
error: Content is protected !!