ඩෙංගු වෛරසය සෘජුවම මොළයට බලපෑම් ඇති කිරීම හේතුවෙන් මාතර, නාවිමන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක උණ වැළඳී දින දෙකක් ඇතුළත අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මාතර නාවිමන, මාකාවිට පදිංචිව සිටි ලොකු නාරංගොඩගේ බිඟුනි හංසනී නමැති තරුණියකි.
ඇගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය පසුගිය 13 වැනිදා ගාල්ල ජාතික රෝහලේදී හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා ඉදිරියේ පවත්වන ලදී.
මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් මියගිය තරුණියගේ මව වන මදරසිංහගේ දයානි (54) මහත්මිය දැඩි සංවේගයෙන් යුතුව මෙසේ පැවසුවාය,
“මගේ දුවට මීට කලින් රෝහල්ගත වෙලා බෙහෙත් ගන්න තරම් කිසිම අසනීපයක් හැදිලා තිබුණේ නැහැ. ඇය මාතර ශාන්ත මරියා කන්‍යාරාමයෙන් උසස් පෙළ සමත් වෙලා, ජපානයේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ බලාපොරොත්තුවෙන් කොළඹ සති අන්ත ජපන් භාෂා පාඨමාලාවකට සහභාගි වුණා. 2027 වසරේ අප්‍රේල් මාසයේ ඇය ජපන් යාමට නියමිතව තිබූ අතර ඒ සඳහා මුදල් පවා ගෙවා තිබුණා.
පසුගිය සිකුරාදා (10) ඇයට හදිසියේම උණ ගත්තා. අපි එදිනම වෛද්‍යවරයකුගෙන් බෙහෙත් ගෙනත් දුන්නාම උණ අඩු වුණා. සෙනසුරාදා (11) නැවත උණ ගත් නිසා මාත් සැමියාත් ඇයව රෝහලට රැගෙන යන්න සූදානම් වන විටම දුවට සිහිය නැති වුණා. අපි ඉක්මනට 1990 ගිලන් රථයෙන් ඇයව මාතර රෝහලට ඇතුළත් කළා.”
මාතර රෝහලේදී සිදුකළ රුධිර පරීක්ෂණ සහ සීටී (CT) ස්කෑන් පරීක්ෂණ මඟින් ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බවත්, මොළය පිටුපස ඉදිමීමක් පවතින බවත් වෛද්‍යවරුන් හඳුනාගෙන තිබේ. ඒ අනුව වැඩිදුර සැත්කමක් සඳහා ඇයව එදිනම කරාපිටිය (ගාල්ල ජාතික) රෝහලට මාරු කර යවා ඇත.
දිගින් දිගටම සිහිය නොලද තරුණියව කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී හිසේ සැත්කමකට භාජනය කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණද, පසුගිය 13 වැනිදා දහවල් ඇය ජීවිතක්ෂයට පත්වූවාය.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය චිත්‍රානි වීරසිංහ මහත්මියගේ වාර්තාව සහ වෛද්‍ය සාක්ෂි අනුව මරණ පරීක්ෂකවරයා සඳහන් කළේ ඩෙංගු වෛරසය සෘජුවම මොළයට බලපෑම් කිරීම නිසා මෙම මරණය සිදුව ඇති බවයි. කෙසේ වුවද, මරණයට හේතුව ස්ථිරවම තහවුරු කර ගැනීම සඳහා සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එම වාර්තාව ලැබුණු පසු නිශ්චිත හේතුව ප්‍රකාශ කරන බව පවසමින් දේහය අවසන් කටයුතු සඳහා ඥාතීන්ට භාර දීමට කටයුතු කෙරිණි. රෝහල් පොලිසිය විසින් සාක්ෂි මෙහෙයවන ලදී.



