රත්මලාන ගුවන්තොටුපළෙන් පුහුණුවීම් කටයුත්තක් සඳහා අද (15) ගුවන්ගත කරන ලද Y-12 වර්ගයේ ගුවන් යානයක සරුංගල් නූල් පැටලීම හේතුවෙන් එම යානය හදිසියේම යළි ගොඩබෑමට පියවර ගෙන තිබේ.
යානය ගොඩබෑමෙන් අනතුරුව සිදුකළ කාර්මික පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ, ගුවන් යානයේ වම්පස රෝදයේ, වම්පස එන්ජින් ප්‍රදේශයේ මෙන්ම තවත් කොටස් කිහිපයකම සරුංගල් නූල් විශාල වශයෙන් පැටලී තිබූ බවයි.
මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව දන්වා සිටින්නේ, ගුවන් යානයක එන්ජිමකට හෝ එහි ක්‍රියාකාරී පද්ධතියකට සරුංගල් නූල් හෝ සරුංගල් කොටස් ඇතුළු වීමෙන් සමස්ත ගුවන් යානයම දරුණු අනතුරකට ලක්වීමේ සෘජු අවදානමක් පවතින බවයි.
ලොව පුරා සිදුවන ගුවන් අනතුරුවලට ප්‍රධානතම හේතුවක් ලෙස ගුවන් ධාවන පථ ආසන්නයේ සරුංගල් යැවීම හඳුනාගෙන ඇති අතර, එය ගුවන් යානා පියාසර කිරීමේ කටයුතුවලට සෘජු බාධාවක් එල්ල කරයි. මේ වන විට පවතින සරුංගල් සමයත් සමඟ දිවයිනේ ගුවන් ධාවන පථ සහ ගුවන්තොටුපළ ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීම ඉහළ ගොස් ඇති බැවින්, එය ගුවන් යානාවල ආරක්ෂාවට බරපතළ තර්ජනයක් වී තිබේ.
ගුවන් හමුදාවට අනුව, දිවයිනේ පිහිටි ප්‍රධාන ගුවන් ධාවන පථ සහ ගුවන්තොටුපළවල් රැසක් අවට මේ වන විට අධි අවදානම් තත්ත්වයක් මතු වී ඇත. ඒ අනුව පහත සඳහන් ප්‍රදේශවල පිහිටි ගුවන් ධාවන පථ අවට සරුංගල් යැවීම සීමා කිරීමට පියවර ගෙන තිබේ.
කටුනායක, රත්මලාන, සහ හිඟුරක්ගොඩ
චීන වරාය, අනුරාධපුර, සහ පලාලි
කටුකුරුන්ද, කොග්ගල, සහ වව්නියා
වීරවිල සහ මත්තල එම ස්ථාන වෙයි.
එබැවින්, ගුවන් ගමන් ආරක්ෂාව තහවුරු කිරීම සහ මගී ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන්, ගුවන් ධාවන පථ සහ ගුවන්තොටුපළ අවට පදිංචි ජනතාවගෙන් එවැනි කලාප තුළ සරුංගල් යැවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස ගුවන් හමුදාව දැඩිව ඉල්ලා සිටී.



