28.9 C
Galle

රෝස පැහැති තොල් සහිත නව රිළා විශේෂයක්

Published:

ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ (DRC) ඝන නිවර්තන වනාන්තර තුළ ජීවත්වන, සුවිශේෂී බාහිර පෙනුමකින් යුත් රිළා විශේෂයක් මෙතෙක් හඳුනා නොගත් නව විශේෂයක් ලෙස නිල වශයෙන් තහවුරු කර තිබේ.

කළු පැහැති ලොම් සහිත මෙම ප්‍රයිමේටා සත්වයාගේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ රෝස-තැඹිලි පැහැති තොල් සහ කළු පැහැති මුහුණයි. උසස් ගස් වියන් මත සැඟවී ජීවත්වන මෙම සතුන්ව මුලින්ම නිරීක්ෂණය කර ඇත්තේ කොංගෝවේ ලොමාමි ජාතික උද්‍යානය (Lomami National Park) තුළදීය.

සංරක්ෂණවේදීන් විසින් මෙම අසාමාන්‍ය පෙනුමක් ඇති සත්වයා ප්‍රථම වරට නිරීක්ෂණය කළේ 2008 වසරේදීය. නමුත් එවකට ඔවුන්ට ලබාගත හැකි වූයේ එක් බොඳ වූ ඡායාරූපයක් පමණි. ඉන් වසර 10කට පසුව සිදු වූ තවත් එක් නිරීක්ෂණයකින් අනතුරුව, DRC, එක්සත් ජනපදය සහ ජර්මනිය නියෝජනය කරන ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් මෙම සත්වයා සොයා පුළුල් අධ්‍යයනයක් ආරම්භ කරන ලදී.

මේ යටතේ සිදු කළ ශබ්ද පටිගත කිරීම්, ඡායාරූපකරණය සහ සවිස්තරාත්මක ජාන අධ්‍යයනයන්ගෙන් (Detailed genetic studies) පසුව, මෙය මීට පෙර හඳුනා නොගත්, ජානමය වශයෙන් වෙනස් විශේෂයක් බව නිල වශයෙන් තහවුරු විය. මෙය පසුගිය වසර 75 ක කාලය තුළ අප්‍රිකාවෙන් සොයාගත් පස්වන රිළා විශේෂය වීම විශේෂත්වයකි.

පර්යේෂණයට ප්‍රමුඛත්වයක් දුන් ෆ්ලොරිඩා අත්ලාන්තික් විශ්වවිද්‍යාලයේ (Florida Atlantic University) ආචාර්ය උපාධි අපේක්ෂක ජූනියර් අම්බොකෝ (Junior Amboko) බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කළේ, මෙතෙක් ලොව සැඟවී සිටි සත්වයෙකුගේ මුහුණ දෙස බැලීම “පුදුමාකාර හැඟීමක්” වූ බවයි.

විද්‍යාවට “නව සොයාගැනීමක්” වුවද, ප්‍රදේශයේ වාසය කරන ජනතාව මීට පෙර සිටම මෙම සත්වයා පිළිබඳව දැන සිටි අතර, ඔවුන් විසින් ඔවුන්ව ‘ලිකුවෙලි’ (Likweli) නමැති පොදු නාමයෙන් හඳුන්වනු ලබයි.

කෙසේ වුවද, පර්යේෂණ කණ්ඩායම විසින් මෙම සත්වයාට ‘කොලොබස් කොංගොන්සිස්’ (Colobus congoensis) නමැති ලතින් නාමය ලබා දී තිබේ. ඒ, කොංගෝවේ ස්වභාවික විවිධත්වයට ගෞරවයක් වශයෙනි.

මෙම සත්වයා ‘කොලොබස්’ (Colobus) රිළා පවුලට අයත් වේ. මෙම පවුලේ රිළවුන්ගේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඔවුන්ට ‘මහපට ඇඟිල්ලක්’ නොමැති වීමයි.

ශාක භක්ෂකයන් වන මොවුන් වනාන්තරයේ බීජ ව්‍යාප්තිය සහ ප්‍රරෝහණය (Germination) සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

ෆ්ලොරිඩා අත්ලාන්තික් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේට් ඩෙට්විලර් (Prof Kate Detwiler) පවසන පරිදි, ඔවුන්ගේ අසාමාන්‍ය, දීප්තිමත් මුහුණේ සලකුණු වෙනත් සතුන්ට දෘශ්‍ය සංඥාවක් ලෙස ක්‍රියා කළ හැකිය. එනම්, සහකරුවෙකු ආකර්ෂණය කර ගැනීමට හෝ එකිනෙකා හඳුනා ගැනීමට එය උපකාරී වනු ඇතැයි විශ්වාස කෙරේ.

එමෙන්ම, මෙම සතුන්ට ආවේණික වූ, දෝංකාර දෙන “ගොරවන” හඬක් (Distinctive roaring call) පවතියි. ජූනියර් අම්බොකෝ සඳහන් කරන පරිදි, ඔවුන්ව බොහෝ විට හඬ ඇසුණත් දැකගත නොහැකි වන්නේ ඔවුන් ගස් මුදුන්වල සැඟවී සිටින බැවිනි. පර්යේෂකයින් පවා ඔවුන්ව සොයා ගැනීම සඳහා වනාන්තරය අවට ගම්මාන 52 ක ජනතාව සම්මුඛ සාකච්ඡාවට ලක් කළ අතර, ඉන් ගම්මාන 8 ක වැසියන් පමණක් මෙම සතුන්ව දැක තිබුණි.

මෙම සතුන් වනාන්තරයේ සීමිත ප්‍රදේශයක පමණක් ජීවත් වන අතර, මස් සඳහා දඩයම් කිරීමට ලක් වේ. එබැවින්, දැන් මෙම සත්වයා නව විශේෂයක් ලෙස නිල වශයෙන් තහවුරු වී ඇති බැවින්, කොලොබස් කොංගොන්සිස්ව නිල වශයෙන් ආරක්ෂිත විශේෂයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පර්යේෂකයෝ බලාපොරොත්තු වෙති.

කෙසේ වුවද, මෙම රහස්‍ය ජීවිතයක් ගත කරන සත්ව විශේෂය පිළිබඳව තවමත් බොහෝ ප්‍රශ්න ඉතිරිව පවතින බව පර්යේෂකයෝ පවසති. ඔවුන්ගේ ගහනය ඇස්තමේන්තු කිරීම සහ හැසිරීම් රටා අධ්‍යයනය කිරීම සඳහා සවිස්තරාත්මක සමීක්ෂණයක් ඉදිරියේදී සිදු කිරීමට සැලසුම් කර ඇත. මෙම පර්යේෂණ සොයාගැනීම් ‘PLoS One’ විද්‍යාත්මක සඟරාවේ ප්‍රකාශයට පත් කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!