29.4 C
Galle

පොලිස් නාමයෙන් එන ව්‍යාජ SMS දඩ පණිවිඩ ගැන ප්‍රවේශම් වන්න, බැංකු ගිණුම් සූරාකෑමේ වංචාවක් විය හැකියි

Published:

ශ්‍රී ලංකා පොලිසියේ නාමය අවභාවිත කරමින්, වේග සීමා උල්ලංඝනය කිරීම් වෙනුවෙන් දඩ මුදල් ගෙවන ලෙස පවසමින් මහජනතාව නොමඟ යවන සුළු ව්‍යාජ කෙටි පණිවිඩ (SMS) ජංගම දුරකථන වෙත ලැබෙමින් පවතින බව ආරක්ෂක අංශ අනාවරණය කරයි.

පසුගිය දින කිහිපය පුරා මෙරට ජංගම දුරකථන පරිශීලකයන් ඉලක්ක කරගනිමින් මෙම වංචනික ක්‍රියාව සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බැවින්, ඒ පිළිබඳව දැඩි අවධානයෙන් හා ප්‍රවේශමෙන් පසුවන ලෙස ආරක්ෂක අංශ මහජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරයි.

මෙම සංවිධානාත්මක වංචාකරුවන් කණ්ඩායම විසින් රජයේ නිල ‘GovPay’ වෙබ් අඩවියට බෙහෙවින් සමාන අතුරුමුහුණත් සහිත ව්‍යාජ වෙබ් අඩවි (Phishing Websites) නිර්මාණය කර තිබේ. එමඟින් මහජනතාව මුලා කර ඔවුන්ගේ බැංකු කාඩ්පත් සහ පුද්ගලික තොරතුරු සොරකම් කිරීම මොවුන්ගේ මූලික උත්සාහය වී ඇත.

රජයේ නිල GovPay වෙබ් අඩවියේ නිවැරදි ලිපිනය වන්නේ govpay.lk හෝ govpay.lk/en/ වන අතර, රජයේ සියලුම නිල වෙබ් අඩවි සැමවිටම රජයේ නිල .gov.lk ඩොමේන් නාමය යටතේ ක්‍රියාත්මක වේ.

නමුත් මෙම වංචාකරුවන් විසින් එවනු ලබන කෙටි පණිවිඩ තුළ 998809.help/govpay/lk වැනි සම්පූර්ණයෙන්ම වෙනස් සහ දැඩි ලෙස සැකකටයුතු ව්‍යාජ අන්තර්ජාල ලිපින (Links) අඩංගු වන බව හඳුනාගෙන තිබේ.

තොරතුරු තාක්ෂණ විශේෂඥයෝ පෙන්වා දෙන්නේ එවැනි ව්‍යාජ සබැඳි (Links) වෙත පිවිසී තම බැංකු කාඩ්පත්වල රහස්‍ය අංක (CVV/CVC), මුදල් ගනුදෙනු සඳහා ලැබෙන එක්වරක් පමණක් භාවිත කරන රහස්‍ය කේත (OTP) හෝ වෙනත් සංවේදී පුද්ගලික දත්ත ඇතුළත් කිරීමෙන් තම බැංකු ගිණුම්වල ඇති මුදල් සොරකම් කිරීමේ දැඩි අවදානමක් පවතින බවයි.

මේ හේතුවෙන්, කෙටි පණිවිඩ (SMS) මඟින් ලැබෙන ඕනෑම අන්තර්ජාල සබැඳියක් (Link) මත ක්ලික් කිරීමට පෙර, මොහොතක් නතර වී එහි විශ්වාසනීයත්වය සහ URL ලිපිනය හොඳින් පරීක්ෂා කර බලන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය දන්වා සිටියි.

එමෙන්ම කිසිදු හේතුවක් මත තහවුරු නොකළ වෙබ් අඩවි වෙත තම බැංකු තොරතුරු හෝ පුද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Related articles

spot_img
error: Content is protected !!