2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසු සිසුවියන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය මෙම මස 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (16) දැනුම් දුන්නේය.
පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ අගෝස්තු 10 වැනිදා ආරම්භ කිරීමට නියමිත උසස් පෙළ විභාගය කල් දමා අපේක්ෂකයන්ට සාධාරණ සූදානම් කාලයක් ලබාදෙන ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ මෙවර විභාග කාලසටහන පෙර වසරවලට වඩා සැලකිය යුතු ලෙස ඉදිරියට ගෙන ඒම හේතුවෙන්, විශේෂයෙන් දෙවැනි හා තෙවැනි වර පෙනී සිටින අපේක්ෂකයන්ට ප්‍රමාණවත් සූදානම් කාලයක් නොලැබෙන බවත්, එය අධ්‍යාපනයේ සාධාරණත්වයට බලපාන බවත්ය.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් උසස් පෙළ විෂය නිර්දේශය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය දින සංඛ්‍යාව ඉක්මවා පාසල් පවත්වා ඇති බැවින් විභාග කාලසටහන වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කර තිබුණි. අමාත්‍යාංශයට අනුව මෙවර අපේක්ෂකයන්ට විෂය නිර්දේශය සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් පාසල් දින සංඛ්‍යාවක් ලැබී ඇති අතර, විභාගය කල් දැමීමෙන් විශ්වවිද්‍යාල ඇතුළත් කිරීම් ඇතුළු සමස්ත අධ්‍යාපන දින දර්ශනයටද බලපෑම් ඇති විය හැකි බව සඳහන් කර ඇත.
නීති විශේෂඥයන් පෙන්වා දෙන්නේ ලබන 23 වැනිදා අධිකරණය ප්‍රකාශයට පත් කරන්නේ පෙත්සම විභාගයට ගැනීමට ප්‍රමාණවත් නීතිමය පදනමක් තිබේද යන්න පිළිබඳ මූලික තීරණය බවයි. එදින පෙත්සම විභාගයට ගැනීමට අවසර ලැබුණහොත් පමණක් එහි සාරය සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් පැවැත්වෙන අතර, විභාගය කල් දැමීම සම්බන්ධයෙන් අතුරු නියෝගයක් නිකුත් කළ යුතුද යන්න පිළිබඳවද අධිකරණය ඉදිරියේදී සලකා බැලීමට ඉඩ ඇත.



