30.5 C
Galle

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි

Published:

මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (17) මියගොස් ඇති බව ශ්‍රී ලංකා පොලිසිය තහවුරු කළේය.

පොලිසිය සඳහන් කළේ අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී බරපතළ තුවාල සහිතව සොයා ගැනීමෙන් අනතුරුව රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි.

පොලිසිය මූලික විමර්ශනවලදී මෙය සියදිවි හානියක් විය හැකි බවට සැක කරන අතර, මරණයට හේතුව සහ සිද්ධියේ සියලු තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. අවසන් නිගමනය පශ්චාත් මරණ පරීක්ෂණය සහ විමර්ශනවලින් අනතුරුව තහවුරු කිරීමට නියමිතය.

වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකා පොලිස් සේවයේ විවිධ තනතුරු හෙබවූ සී.ඩී. වික්‍රමරත්න මහතා, දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද සේවය කළේය.

2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව එවකට පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යැවීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් වූ ඔහු, 2020 නොවැම්බර් 25 වැනිදා ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස ස්ථිරව පත් කෙරිණි. 2023 නොවැම්බර් මාසයේදී විශ්‍රාම යන තෙක් ඔහු එම ධුරයේ කටයුතු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය සහ අදාළ විමර්ශන අංශ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


උපකාරක සේවා

ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු දැඩි මානසික පීඩනයකින්, බලාපොරොත්තු රහිත හැඟීම්වලින් හෝ සියදිවි හානිය පිළිබඳ සිතිවිලිවලින් පෙළෙන්නේ නම්, නොමිලේ සහ රහස්‍ය සහාය ලබාගත හැකිය.

1333 අර්බුද නිරාකරණ සහාය සේවාව (පැය 24 පුරා): 1333
වෙබ් අඩවිය: https://1333.lk

Related articles

spot_img
error: Content is protected !!