හිටපු පොලිස්පතිවරයෙකු වූ සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කිරීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය අද (17) නිවේදනය කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වූට්ලර් මහතා පැවසුවේ මූලික විමර්ශනවලදී මෙම මරණය සියදිවි හානියක් විය හැකි බවට සැක පළ වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් සියලු කරුණු අනාවරණය කර ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි.
අද අලුයම මාලඹේ පොලිස් වසමේ තලාහේන, පරාක්‍රම පාරේ පිහිටි ඔහුගේ නිවසේදී බරපතළ තුවාල සහිතව සොයාගත් වික්‍රමරත්න මහතා වහාම නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළද, රෝහල් ආරංචි මාර්ග අනුව ඒ වනවිටත් ඔහු මියගොස් සිටියේය.
පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ දේහය මේ වනවිට රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවයි.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම ඇතුළු වැඩිදුර විමර්ශන මාලඹේ පොලිසිය සහ බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය එක්ව සිදුකරන බවද පොලිසිය සඳහන් කළේය.
මූලික විමර්ශන මගින් හෙළිවී ඇත්තේ වික්‍රමරත්න මහතාට වෙඩි වැදී ඇත්තේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිළධාරීයාගේ ගිනි අවියෙන් බවයි.
සී.ඩී. වික්‍රමරත්න මහතා වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකා පොලිස් සේවයේ විවිධ තනතුරු හෙබවූ අතර, 2020 නොවැම්බර් 27 වැනිදා ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස පත් වී 2023 නොවැම්බර් 23 වැනිදා විශ්‍රාම යන තෙක් එම ධුරයේ කටයුතු කළේය. මියයන විට ඔහු 63 හැවිරිදි වියේ පසුවිය.
මේ අතර, පොලිසිය අවධාරණය කරන්නේ මරණයට නිශ්චිත හේතුව සම්බන්ධයෙන් අවසන් නිගමනය පශ්චාත් මරණ පරීක්ෂණයේ සහ නිල විමර්ශනවල ප්‍රතිඵල අනුව තහවුරු කරනු ඇති බවයි.
උපකාරක සේවය
ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු දැඩි මානසික පීඩනයකින් හෝ සියදිවි හානිය පිළිබඳ සිතිවිලිවලින් පෙළෙන්නේ නම්, නොමිලේ සහ රහස්‍ය සහාය ලබාගත හැකිය.
1333 අර්බුද නිරාකරණ සහාය සේවාව (පැය 24 පුරා): 1333
වෙබ් අඩවිය: https://1333.lk



