31.3 C
Galle

පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට සැත්කමක් නැති සාර්ථක ප්‍රතිකාරයක්

Published:

පිරිමින් අතර බහුලව හඳුනාගන්නා පුරස්ථි ග්‍රන්ථි පිළිකාව සඳහා සැත්කමක් හෝ විකිරණ ප්‍රතිකාරයක් නොමැතිව සිදු කරන නව ප්‍රතිකාර ක්‍රමයක් සාර්ථක බව වසර 10ක් පුරා සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

එක්සත් රාජධානියේ ඉම්පීරියල් කොලේජ් ලන්ඩන් විශ්වවිද්‍යාලය ප්‍රමුඛව සිදු කළ මෙම අධ්‍යයනය සඳහා පුරස්ථි ග්‍රන්ථි පිළිකා රෝගීන් 3,500කට ආසන්න පිරිසක් සම්බන්ධ කරගෙන ඇත.

මෙම ප්‍රතිකාරය “ෆෝකල් තෙරපි” (Focal Therapy) ලෙස හැඳින්වේ. එහිදී සම්පූර්ණ පුරස්ථි ග්‍රන්ථිය ඉවත් නොකර, පිළිකාව ඇති කොටස පමණක් අධි තීව්‍රතා අල්ට්‍රා සවුන්ඩ් තරංග හෝ අධික ශීතකරණ ක්‍රමයක් (Cryotherapy) භාවිත කර විනාශ කරයි.

පර්යේෂකයන් පවසන්නේ මෙම ප්‍රතිකාරය ලබාගත් රෝගීන් අතර වසර 10කට පසුව පුරස්ථි ග්‍රන්ථි පිළිකාව හේතුවෙන් මියගොස් තිබුණේ පුද්ගලයන් දෙදෙනෙකු පමණක් බවයි. එය සැත්කම් හෝ විකිරණ ප්‍රතිකාරවලින් ලැබෙන ප්‍රතිඵලවලට සමාන මට්ටමක පවතින බවද ඔවුන් සඳහන් කරයි.

එසේම, මෙම ප්‍රතිකාරයෙන් පසු මුත්‍රා පාලනයේ ගැටලු සහ ලිංගික ක්‍රියාකාරිත්වයේ දුර්වලතා වැනි අතුරු ආබාධ ඇතිවීමේ අවදානමද සැලකිය යුතු ලෙස අඩු බව අධ්‍යයනයෙන් හෙළි වී ඇත.

කෙසේ වෙතත්, මෙම ප්‍රතිකාරය සෑම රෝගියෙකුටම සුදුසු නොවේ. පිළිකාව පුරස්ථි ග්‍රන්ථියේ ස්ථාන කිහිපයකට පැතිර ගොස් ඇති හෝ ශරීරයේ වෙනත් කොටස්වලට ව්‍යාප්ත වී ඇති රෝගීන් සඳහා මෙය නිර්දේශ නොකෙරේ.

විශේෂඥයන් පවසන්නේ, මෙම පර්යේෂණයේ ප්‍රතිඵල හේතුවෙන් අනාගතයේදී තවත් රෝහල්වල මෙම ප්‍රතිකාරය ලබාදීමටත්, පුරස්ථි ග්‍රන්ථි පිළිකාව සඳහා ඉක්මන් පරීක්ෂණ සහ ප්‍රතිකාර වැඩසටහන් පුළුල් කිරීමටත් හැකියාව ලැබෙනු ඇති බවයි.

දැනට එක්සත් රාජධානියේ සෑම වසරකම පිරිමින් 64,000කට වැඩි පිරිසකට පුරස්ථි ග්‍රන්ථි පිළිකාව හඳුනාගනු ලබන අතර, එම රෝගය හේතුවෙන් පුද්ගලයන් 12,000ක් පමණ මියයති.

Related articles

spot_img
error: Content is protected !!