ජෝර්දානයට එල්ල වූ ඉරාන බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් අමෙරිකානු හමුදා සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් එක් සෙබළෙකු අතුරුදන් වී ඇති බව අමෙරිකානු හමුදා නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. මේ සමඟම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සහ නොසන්සුන්තාවය තවදුරටත් දැඩි වී ඇත.
මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය පරිදි ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් තවත් ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. මෙය අමෙරිකාව විසින් පිට පිටම ප්‍රහාර එල්ල කළ අටවැනි රාත්‍රියයි.
හෝමූස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) වෙළඳ නැව්වලට ඉරානයෙන් එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සහ ජෝර්දානයේ සිටින අමෙරිකානු සෙබළුන්ට පහර දුන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට (IRGC) වහාම දඬුවම් කිරීම මෙම ප්‍රහාරවල අරමුණ බව අමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය (Centcom) පවසයි.
පසුගිය ජූනි මාසයේදී වොෂින්ටනය සහ ටෙහෙරානය (ඉරානය) අතර යුද්ධය නැවැත්වීම සඳහා මූලික එකඟතාවයකට පැමිණ තිබුණද, එය මසක් යන්නටත් මත්තෙන් සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ.
ඉරානයේ උත්තරීතර නායක මොහ්තබා ඛමේනි ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අමෙරිකාව ගිවිසුම් දිගින් දිගටම උල්ලංඝනය කරන බැවින් අමෙරිකානු ජනාධිපතිවරයාගේ අත්සනෙහි කිසිදු වටිනාකමක් හෝ විශ්වාසයක් නොමැති බවයි. එමෙන්ම ඉරානය සතුව අමෙරිකාවට දීමට “අමතක නොවන පාඩම්” ඇති බවද ඔහු අනතුරු ඇඟවීය.
දෙපාර්ශවයම එකිනෙකාගේ වැදගත් යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බවට චෝදනා එල්ල වේ. පසුගිය සති තුන තුළ අමෙරිකානු ප්‍රහාරවලින් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් මියගොස් 500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ඉරාන මාධ්‍ය පවසයි. පෙබරවාරි 28 වැනිදා මෙම යුද්ධය ආරම්භ වූ දා සිට මේ වන විට මැදපෙරදිග කලාපය පුරා දහස් ගණනක් පිරිස මියගොස් ඇති අතර ඉන් බහුතරය ඉරාන සහ ලෙබනන වැසියන්ය.
මීට අමතරව, ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරවලින් කුවේට් රාජ්‍යයේ විදුලි බලාගාරයකට සහ ජල පිරිපහදු මධ්‍යස්ථානයකට හානි සිදු වී ඇති අතර, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය පවසන්නේ සිවිල් දේපළ ඉලක්ක කර මෙලෙස ප්‍රහාර එල්ල කිරීම “යුද අපරාධයක්” වන බවයි.
යුද තත්ත්වයත් සමඟ අමෙරිකාව විසින් ඉරාන වරායන් අවහිර කිරීමට පියවර ගෙන ඇති අතර, ඉරානය විසින් ලෝකයේ තෙල් සහ ස්වාභාවික වායු ප්‍රවාහනයෙන් පහෙන් එකක් (1/5) සිදුවන ප්‍රධාන මුහුදු මාර්ගය වන ‘හෝමූස් සමුද්‍ර සන්ධිය’ වසා දමා ඇත. මේ හේතුවෙන් ලෝක වෙළඳ නැව් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.
පවතින අන්තරායකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මැදපෙරදිග කලාපයේ වෙසෙන සහ සංචාරය කරන තම පුරවැසියන්ට අතිශයින්ම පරීක්ෂාකාරීව සහ අවධානයෙන් පසුවන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.



