26.6 C
Galle

ITEC පුහුණුවෙන් ඇල්පිටිය පරිසරය සුවඳවත් කළ රාජ්‍ය නිලධාරියෙක්

Published:

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

රාජ්‍යතාන්ත්‍රික සබඳතා යනු හුදෙක් රාජ්‍ය නායකයන් අතර අත්සන් තැබෙන ද්විපාර්ශ්වික ලේඛනවලට හෝ අගනගරවල පවත්වන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලට පමණක් සීමා වූවක් නොවේ. එය එක් රටක තාක්ෂණය, ඥානය හා අත්දැකීම් තවත් රටක සාමාන්‍ය පොදු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා මුසු කෙරෙන සජීවී, ප්‍රායෝගික පාලමකි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින්නේ සියවස් ගණනාවක් පුරා විහිදුණු නොබිඳුණු ඓතිහාසික, සංස්කෘතික සහ ආර්ථික මිත්‍රත්වයකි. මෙම සර්වකාලීන මිත්‍රත්වයේ නූතන සක්‍රීය සංකේතය වන්නේ ඉන්දීය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘ඉන්දීය කාර්මික හා ආර්ථික සහයෝගිතා වැඩසටහන’ (Indian Technical and Economic Cooperation Programme) හෙවත් ‘ITEC’ පුහුණු ශිෂ්‍යත්ව ප්‍රජාවයි.

විදේශ පුහුණු ලාභීන් මෙරටට පැමිණි පසු තමන් ලැබූ වටිනා ඥානය රාජ්‍ය ආයතනවල ලාච්චු සහ ලිපිගොනු තුළ සිරකර තබන වර්තමාන යුගයක, ඉන්දියාවෙන් ලැබූ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුව මෙරට ග්‍රාමීය මට්ටමේ සැබෑ පාරිසරික හා ජනතා මෙහෙවරක් බවට පරිවර්තනය කළ සුවිශේෂී රාජ්‍ය නිලධාරියෙකු අපට දකුණු ලක ඇල්පිටිය ප්‍රදේශයෙන් හමුවේ. ඔහු ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරී එන්. සුසන්ත චන්ද්‍රික මහතාය. මුම්බායි සහ දිල්ලි යන  නගරවලින් ලද ගෝලීය දැනුම සමුදාය, ඇල්පිටියේ ගම්මාන කරා රැගෙන යමින් කසළ කළමනාකරණයේ සහ වටපිටාව සුරැකීමේ නව පෙරළියක් ඇති කළ ඔහුගේ අත්දැකීම් පෙළගැස්ම මුළු මහත් රාජ්‍ය සේවයටම සපයන්නේ අගනා ආදර්ශයකි.

ඇල්පිටිය බලප්‍රදේශයේ කසළ අර්බුදයට තිරසාර වෘත්තීය මැදිහත්වීම

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරන එන්. සුසන්ත චන්ද්‍රික මහතාගේ මූලික කාර්යභාරය වන්නේ ප්‍රදේශය තුළ උද්ගත වන කසළ ගැටලුව නිසි අයුරින් කළමනාකරණය කිරීමයි. කසළ යනු දිරන හා නොදිරන ලෙස දෙයාකාරයකින් පවතින ද්‍රව්‍ය සමූහයක් වන අතර, එය විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ඒකරාශී වීම අවම කිරීම සහ ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම ඔහුගේ වගකීම විය. වෘත්තීය ජීවිතයේ මුල් භාගයේදී දිරන අපද්‍රව්‍ය සහ කාබනික පොහොර සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන මට්ටමින් කටයුතු කළ සුසන්ත මහතා, නොදිරන අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම නිසා සිදුවන මහා විනාශය වටහා ගත්තේය.

විශේෂයෙන්ම අද වන විට රට පුරා දැඩි සෞඛ්‍ය තර්ජනයක් වී පවතින ඩෙංගු උවදුර ව්‍යාප්ත වීමට බෙහෙවින්ම බලපා ඇත්තේ විධිමත් ලෙස බැහැර නොකරන මෙම නොදිරන අපද්‍රව්‍ය ප්‍රශ්නයයි. හිස් ටින්, ප්ලාස්ටික් බෝතල් සහ පොලිතීන් බඳුන් තුළ ජලය රැඳීම මදුරුවන් බෝවීමට කදිම පරිසරයක් නිර්මාණය කරයි. මෙම ව්‍යවසනයෙන් සමාජය මුදාගැනීම සඳහා සුසන්ත මහතා විසින් විශේෂ වැඩසටහන් මාලාවක් දියත් කරන ලදී. ඒ යටතේ පාසල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ද සම්බන්ධ කරගනිමින්, නොදිරන අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම අවම කර ඒවා විධිමත් ලෙස ප්‍රතිචක්‍රීකරණයට ලක් කරන ආකාරය පිළිබඳව සමාජය සක්‍රීයව දැනුවත් කිරීමට ඔහු පියවර ගත්තේය.

කසළ කළමනාකරණයට මඟ පෙන්වූ ඉන්දීය ITEC ශිෂ්‍යත්වය

ශ්‍රී ලංකාව වැනි කසළ කළමනාකරණය සම්බන්ධයෙන් දැවෙන ජාතික ගැටලුවක් පවතින රටක, රාජ්‍ය නිලධාරියෙකු සතු සාම්ප්‍රදායික දැනුමෙන් පමණක් මෙවැනි ගැටලුවලට සාර්ථක විසඳුම් සෙවීම අපහසුය. එතැනදී සුසන්ත චන්ද්‍රික මහතාගේ දෑස් පාදන්නට සමත් වූයේ ඉන්දීය රජයේ සත්කාර්යයක් වන ITEC පුහුණු වැඩසටහනයි. ඔහු ප්‍රථම වරට 2019 වසරේදී ඉන්දියාවේ මුම්බායි නුවර පැවති පොහොර තත්ත්ව පාලනය (Fertilizer Quality Control) පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවකට සහභාගී වීමට වරම් ලැබීය. සති තුනක කාලයක් පුරා පැවති එම පුහුණුවේදී ඉතා ඉහළ ප්‍රායෝගික පුහුණුවක් මෙන්ම, ක්ෂේත්‍ර චාරිකා රාශියක් ඔස්සේ ඉන්දියාවේ නවීන තාක්ෂණික භාවිතයන් සෘජුවම අධ්‍යයනය කිරීමට ඔහුට අවස්ථාව උදා විය.

“2019 මුම්බායි නුවර පැවති පුහුණුව නිමා කරලා මම ඉන්දියාවේ ඉඳලා ලංකාවට එනකොටම හිතාගෙන ආවේ, එහිදී ඉගෙන ගත්ත දේවල් උපයෝගී කරගෙන කාබනික පොහොර හා කසළ කළමනාකරණ වැඩසටහනක් කුඩා කණ්ඩායම් සඳහා හඳුන්වා දීලා ක්ෂේත්‍ර ව්‍යාපෘතියක් ආරම්භ කරනවා කියලා. මම ලංකාවට ආපු ගමන්ම වගේ ව්‍යාපෘතියක් ඇල්පිටිය ප්‍රදේශයේ ආරම්භ කළා. මගේ ඉහළ නිලධාරීන්ද මේ ගැන දැනුවත් කරලා ඔවුන්ගේ සහයෝගය ඇතිව එය ඉතාම සාර්ථකව කරගෙන යන්න මට පුළුවන් වුණා.”  

සුසන්ත මහතාගේ කැපවීම සහ උනන්දුව මත, 2024 වසරේදී ඔහුට දෙවන වරටත් ITEC වැඩසටහන යටතේ ඉන්දියාවේ දිල්ලි නුවර පැවති කළමනාකරණය පිළිබඳ තවත් සුවිශේෂී පාඨමාලාවකට සහභාගී වීමේ අවස්ථාව හිමි විය. එම පුහුණුවෙන් ලැබූ උසස් නායකත්ව හා කළමනාකරණ දැනුම, ඔහු ඇල්පිටිය ප්‍රාදේශීය සභාව තුළ ක්‍රියාත්මක කරමින් සිටි කසළ කළමනාකරණ වැඩසටහන තවදුරටත් සාර්ථක කර ගැනීමට මහෝපකාරී විය. විශේෂයෙන්ම දිල්ලි නුවරදී ලෝකයේ තවත් රටවල් කිහිපයක රාජ්‍ය නිලධාරීන් මුණගැසී, ඔවුන්ගේ රටවල පවතින කසළ කළමනාකරණ උපක්‍රම හා නව්‍ය අදහස් හුවමාරු කර ගැනීමට ලැබීම ඔහුගේ වෘත්තීය දැක්ම පුළුල් කිරීමට හේතු විය.

‘ජීව කොටු’ ක්‍රමය සහ ‘කසළ මිලදී ගැනීම

ඉන්දියාවෙන් රැගෙන ආ දැනුම උපයෝගී කරගනිමින් ඇල්පිටිය ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය හුදෙක් කාර්යාල කාමරවලට සීමා වූවක් නොවේ. සුසන්ත මහතා මුලින්ම විවිධ ජනමාධ්‍ය, අත්පත්‍රිකා සහ විවිධ ප්‍රචාරණ ක්‍රමවේදයන් භාවිත කරමින් ජනතාව දැනුවත් කිරීමේ පුළුල් මෙහෙයුමක් දියත් කළේය. ගම් මට්ටමින් ක්‍රියාත්මක වන ස්වේච්ඡා සමිති, වැඩිහිටි සමිති ආදී මහජන සංවිධාන සක්‍රීයව දැනුවත් කරමින් ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කිරීමට ඔහු වෙහෙසුණි. ඔහුගේ මූලික අරමුණ වූයේ ප්‍රාදේශීය සභාවේ කසළ අංගනය වෙත ඇදී එන කසළ ප්‍රමාණය උපරිමයෙන් අවම කර ගැනීමයි.

මේ සඳහා ගෘහස්ථ මට්ටමින් ඉඩකඩ සීමිත නිවාස හිමියන් ඉලක්ක කර ගනිමින් ජීව කොටු ක්‍රමවේදය හඳුන්වා දීමට ඔහු කටයුතු කළේය. සුසන්ත මහතා පෞද්ගලිකවම ගම්වැසියන්ගේ නිවෙස්වලටම ගොස්, මෙම ක්‍රමය ප්‍රායෝගිකව සිදු කරන ආකාරය පෙන්වා දෙමින් ජනතාව දිරිමත් කළේය. ඉන්දියාවේ ITEC පුහුණුවේදී විවිධ රටවල නිලධාරීන්ගෙන් ලත් අත්දැකීම් හා අදහස් මත පදනම්ව නිපදවූ මෙම ක්‍රමවේදය ඉතා කෙටි කලකින් අතිශය සාර්ථක ප්‍රතිඵල අත්කර දුන්නේය.

කසළ කළමනාකරණය තවදුරටත් සාර්ථක කරනු වස් ‘වෙස්ට් මාර්කටින්’ (Waste Marketing) හෙවත් කසළ මිලදී ගැනීමේ ව්‍යාපෘතියක් ගම්මාන කිහිපයක ඔහු ආරම්භ කළේය. ඇල්පිටිය ප්‍රදේශයේ කහදූව උතුර, කහදූව දකුණ, වේරමුල්ල සහ පිනිකහන යන ප්‍රදේශ මේ සඳහා තෝරා ගන්නා ලදී. නිවෙස්වලින් බැහැර කරන නොදිරන අපද්‍රව්‍ය ක්‍රමවත්ව මිලදී ගැනීම නිසා එම ගම්මානවල පැවති කසළ ප්‍රමාණය සියයට 96 කින් (96%) පමණ මුළුමනින්ම ඉවත් කිරීමට ඔහුට හැකි විය. මේ හේතුවෙන් ජනතාව පොදු පාරවල් අයිනට සහ කැළෑවලට කසළ දමා යාමේ පොදු සමාජයීය ප්‍රශ්නය ද මුළුමනින්ම තුරන් විය.

මෙම අතිදැවැන්ත ප්‍රායෝගික මෙහෙයුම දකුණු පළාත තුළ සාර්ථකව ක්‍රියාත්මක කිරීමේදී හම්බන්තොට පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයෙන් සුසන්ත මහතා වෙත නොමඳ සහයෝගයක් සහ අනුග්‍රහයක් හිමි වූ බව ද කියා ඔහු කියා සිටියේය. දේශීය රාජ්‍ය නිලධාරියෙකුගේ සහ විදේශීය රාජ්‍යතාන්ත්‍රික කාර්යාලයක පවත්නා මෙම මනා සම්බන්ධීකරණය, ශ්‍රී ලංකා – ඉන්දීය මිත්‍රත්වය රාජ්‍ය මට්ටමෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික පොළොව මත සනිටුවහන් වූ අවස්ථාවකි.

විදේශ පුහුණු ශිෂ්‍යත්ව ‘විනෝද චාරිකා’ කර නොගැනීමේ ජාතික වගකීම

ඇල්පිටියෙන් ඇසෙන මෙම සාර්ථක කතාව සමස්ත ලාංකීය රාජ්‍ය සේවයේම සිටින නිලධාරීන්ට මඟ පෙන්වන මාලිමාවකි. වර්තමානයේ බොහෝ රාජ්‍ය නිලධාරීන් විදේශ පුහුණු වැඩසටහන් හෝ ශිෂ්‍යත්ව ලැබූ විට, ඒවා තමන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කර ගැනීමට ලැබෙන අවස්ථාවකට වඩා විදේශ රටක සංචාරය කර විනෝද වීමට ලැබෙන ‘විනෝද චාරිකාවක්’ ලෙස පමණක් සලකන තත්ත්වයක් දක්නට ලැබේ. තමන් නියෝජනය කරන ක්ෂේත්‍රයට කිසිදු ගැළපීමක් නොමැති පුහුණු පාඨමාලා සඳහා දේශපාලන හෝ පෞද්ගලික සබඳතා මත විදේශ ගත වන නිලධාරීන්ගෙන් රටට ඉටු වන සේවයක් නොමැත.

රාජ්‍ය නිලධාරියෙකු වේවා, වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක අයෙකු වේවා, මෙවැනි විදේශ පුහුණු සඳහා යා යුත්තේ පැහැදිලි අරමුණක් සහ දැක්මක් ඇතුවය. තමන් දැනට නිරත වන වෘත්තීය කාර්යයන්ට සහ තමන් සතු සහජ හැකියාවන්ට ගැළපෙන පුහුණු වැඩසටහන් පමණක් තෝරා ගැනීමට ඔවුන් වගබලා ගත යුතුය. එසේ නොමැතිව, හුදෙක් විදේශ සංචාරයක ආශ්වාදය ලැබීමට පමණක් මෙවැනි වටිනා පුහුණු වැඩසටහන් උපයෝගී කරගතහොත්, ඒ සඳහා විශාල ධනස්කන්ධයක් සහ සම්පත් වැය කරන ඉන්දීය රජයට මෙන්ම, එම නිලධාරියාගෙන් සේවයක් බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවේ බදු ගෙවන ජනතාවටත් ඉන් කිසිදු ඵලක් අත් නොවන බව සුසන්ත චන්ද්‍රික මහතා අවධාරණය කරයි.

ඉන්දීය රජයේ ITEC පුහුණු වැඩසටහන යනු ශ්‍රී ලංකාවේ වෘත්තිකයන් සතු කුසලතා ඔප්නැංවීමට ලැබුණු අගනා දායාදයකි. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරී එන්. සුසන්ත චන්ද්‍රික මහතා මුම්බායි සහ දිල්ලි නුවරින් රැගෙන ආ ඒ දැණුම, අද කහදූව, වේරමුල්ල සහ පිනිකහන ගම්මාන පිරිසිදු, සුවදායී සුන්දර පරිසරයක් බවට පරිවර්තනය කර හමාරය.

Related articles

spot_img
error: Content is protected !!