හෙට (20) සිට ක්‍රියාත්මක වන පරිදි සුදු බිත්තරයක විකුණුම් මිල රුපියල් 41ක් දක්වාත්, රතු බිත්තරයක මිල රුපියල් 42ක් දක්වාත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
අද (19) කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.
බිත්තර මිල මෙලෙස ඉහළ යාම සම්බන්ධයෙන් රජය සහ අදාළ බලධාරීන් සෘජුවම වගකිව යුතු බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. මේ වන විට රට තුළට ඉරිඟු ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර, දේශීයව කෙරෙන ඉරිඟු නිෂ්පාදනය බිත්තර කර්මාන්තයේ අවශ්‍යතාවලට ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දෙයි.
මේ හේතුවෙන් ගොවීන්ට ඉරිඟු වෙනුවට සහල් ඇතුළු විවිධ ආදේශක සත්ත්ව ආහාර ලෙස භාවිත කිරීමට සිදු වී ඇත. එමඟින් සතුන්ගේ සෞඛ්‍යයට සහ ආහාර ජීර්ණ පද්ධතියට අහිතකර බලපෑම් එල්ල වී ඇති අතර, රටේ සමස්ත බිත්තර නිෂ්පාදනය සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයකින් පහත වැටී තිබේ.
ඇතැම් කූට වෙළෙඳුන් විසින් සත්ත්ව ආහාරවලට විවිධ රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ මිශ්‍ර කර විකිණීම හේතුවෙන් සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බවට ද සංගමයේ සභාපතිවරයා බරපතල චෝදනාවක් කළේය.
මෙම අර්බුදකාරී තත්ත්වය නිසා දෛනික බිත්තර නිෂ්පාදනය බෙහෙවින් පහත වැටී ඇති අතර ගොවීන්ද දැඩි ලෙස පාඩු ලබමින් සිටිති. අදාළ බලධාරීන් මේ සියලු ගැටලු පිළිබඳව දැනුවත්ව සිටියද, ඒවා විසඳීම සඳහා මෙතෙක් කිසිදු විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බව සරත් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



