28.5 C
Galle

අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කථානායකට

Published:

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (21) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදීමට විපක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ, විපක්ෂයේ සියලු පක්ෂවල එකඟතාවයෙන් එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවයි.

එම පසුබිම මධ්‍යයේ පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යළි රැස්වීමට නියමිත අතර, දිනයේ න්‍යාය පත්‍රයට වැදගත් කරුණු රැසක් ඇතුළත් කර තිබේ.

පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සිදු කළ විමර්ශන වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම සම්බන්ධයෙන් විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතය.

එමෙන්ම, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා ඒවා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම පිළිබඳ යෝජනාව ද විවාදයට ගැනීමට නියමිතය.

පස්වරු 2.30 සිට 5.30 දක්වා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ කාර්යසාධනය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ යෝජනාවක් ද විවාදයට ගැනීමට නියමිත අතර, අද දිනයේ පාර්ලිමේන්තුවේ දේශපාලන සහ පාලන වගවීම සම්බන්ධ කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමුවනු ඇත.

මේ අතර, විපක්ෂයේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සියලු විපක්ෂ පක්ෂ නියෝජිතයන්ගේ විශේෂ හමුවක් අනිද්දා පැවැත්වීමට ද නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!