28.5 C
Galle

කෝටියකින් එකක්! ඕස්ට්‍රේලියාවේ මවකට දුර්ලභ සිව් නිවුන් දැරියන්

Published:

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත රෝහලක (‘Royal Brisbane and Women’s Hospital’) දී අතිශය දුර්ලභ සහ අවදානම් සහගත ගැබ්ගැනීමකින් පසුව, ස්වාභාවිකව පිළිසිඳගත් එකම වර්ගයේ සිව් නිවුන් දරුවන් (identical quadruplets) බිහි කිරීමට ඕස්ට්‍රේලියානු ජාතික මවක් සමත්ව සිටියි.

එක් ශුක්‍රාණුවකින් සංසේචනය වූ තනි ඩිම්බයක් කොටස් හතරකට වෙන්වීමෙන් (monozygotic quadruplets) මෙම සිවු නිවුන් දැරියන් පිළිසිඳගෙන තිබේ.

මව ආරම්භයේ සිටම රැකබලා ගත් මාතෘ හා භ්‍රෑණ වෛද්‍ය විශේෂඥ ඇලෙක්සා බෙන්ඩෝල් (Dr. Alexa Bendall) ප්‍රකාශ කළේ, මෙලෙස එකම නිවුන් සිවු නිවුන් දරුවන් පිළිසිඳ ගැනීම ගැබ්ගැනීම් මිලියන 15කින් එකක (1 in 15 million) සිදුවන අතිශය දුර්ලභ සිදුවීමක් බවයි. විශේෂයෙන්ම මෙම දරුවන් හතරදෙනාම එකම වැදමහ (Placenta) හුවමාරු කරගනිමින් වැඩීම කිසිදිනෙක අසා නැති තරම් අතිශය දුර්ලභ තත්ත්වයක් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

34 හැවිරිදි ජෙනිටාර් නාඅමෝනා (Jenitar Na’amoana) සහ ඇගේ සැමියා වන ජෝතම් (Jortham) යුවළට දැනටමත් වයස අවුරුදු 1ත් 10ත් අතර දරුවන් සිව්දෙනෙකු සිටිති. වෛද්‍යවරුන් විසින් තමන්ට සිවු නිවුන් දරුවන් ලැබීමට සිටින බව පැවසූ විට තමන් දැඩි ලෙස පුදුමයට පත් වූ බව යුවළ පවසයි.

අධික අවදානම් තත්ත්වය නිසාම මවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිරන්තරයෙන් සොයා බැලීමට, සති 25දී ඇයව රෝහල් ගත කිරීමට කටයුතු කෙරිණි. සති 28 සහ දින 4ක් වන විට ජූලි 14 වන දින සිසේරියන් සැත්කමක් (C-section) මගින් මෙම දරුවන් සිව්දෙනා සාර්ථකව බිහි කර ගැනීමට වෛද්‍යවරු සමත් වූහ.

නිරෝගීව උපත ලද මෙම දැරියන් සිව්දෙනා එමිලි (Emily), හැරියට් (Harriet), කැතරින් (Catherine) සහ ඇලෙක්සා (Alexa) ලෙස නම් කර ඇත. ඉන් එක් දැරියකට ‘ඇලෙක්සා’ ලෙස නම් තබා ඇත්තේ මව සහ දරුවන් වෙනුවෙන් කැපවූ විශේෂඥ වෛද්‍ය ඇලෙක්සා බෙන්ඩෝල්ට කෘතඥතාව පළ කිරීමක් වශයෙනි.

දැනට රෝහලේ නවජ දැඩි සත්කාර ඒකකයේ (NICU) පසුවන මෙම බිළිඳියන් හතරදෙනා ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙති. සම්පූර්ණ වැඩුණු බිළිඳුන්ගේ තත්ත්වයට පත්වන තෙක් ඔවුන් රෝහල් සත්කාර ලබනු ඇත.

අලුත උපන් දරුවන් හතරදෙනෙකු සහ පෙර සිටි දරුවන් හතරදෙනා ද ඇතුළුව අටදෙනෙකුගෙන් යුත් පවුලට ගමන් බිමන් යාම සඳහා ආසන 10ක වෑන් රථයක් මිලදී ගැනීමට මව විසින් අන්තර්ජාලය ඔස්සේ ආධාර එකතු කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබේ. ඒ සඳහා මේ වන විටත් ඕස්ට්‍රේලියානු ඩොලර් 37,000කට (ලංකා රුපියල් කෝටියකට ආසන්න) වැඩි මුදලක් ආධාර ලෙස ලැබී ඇත.

(BBC ඇසුරිණි)

Related articles

spot_img
error: Content is protected !!