ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණෙන ළමා රෝගීන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බැවින්, දරුවන් රෝහලට රැගෙන එන සෑම අවස්ථාවකදීම අත්‍යවශ්‍ය ලේඛන පහක් රැගෙන එන ලෙස රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා දෙමාපියන්ගෙන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
පවතින දැඩි තදබදය මධ්‍යයේ දරුවන්ට කඩිනම් සහ කාර්යක්ෂම ප්‍රතිකාර ලබාදීම සඳහා මෙම ලේඛන අත්‍යවශ්‍ය බව රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.
ඒ අනුව, ප්‍රතිකාර හෝ සායනික කටයුතු සඳහා දරුවන් රෝහල වෙත රැගෙන එන විට පහත සඳහන් ලේඛන රැගෙන ඒම අනිවාර්ය වන බව දැනුම් දී ඇත.
- පුද්ගල සෞඛ්‍ය අංකය (PHN) හෝ බාර්කෝඩ් කාඩ්පත
- ළමා සෞඛ්‍ය සංවර්ධන සටහන් පොත (CHDR) හෝ බර සටහන් පොත
- ඖෂධ හෝ ආහාර අසාත්මිකතා පිළිබඳ වාර්තා
- සායනික සටහන් පොත්
- රෝහලෙන් පිටවීමේ කාඩ්පත් හෝ රෝග විනිශ්චය කාඩ්පත්
මෙම ලේඛන සමඟ පැමිණීමෙන් දරුවාගේ වෛද්‍ය ඉතිහාසය කඩිනමින් හඳුනාගෙන සුදුසු ප්‍රතිකාර ලබාදීමට හැකි වන අතර, රෝහලේ සේවා කාර්යක්ෂමතාවද ඉහළ නැංවිය හැකි බව රෝහල් පරිපාලනය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලය 011 269 3711 දුරකථන අංකයේ 307 දිගුව ඔස්සේ සම්බන්ධ කර ගත හැකි බවද රෝහල් බලධාරීහු දැනුම් දෙති.



