දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන 6 සිට 11 ශ්‍රේණි දක්වා වූ දෙවන වාර පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩාල වීම හේතුවෙන් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින පසුබිමක, 9 ශ්‍රේණියේ, හෙට (22) පැවැත්වීමට නියමිත විභාග ප්‍රශ්න පත්‍ර කිහිපයක් කල් දැමීමට අද(21) හදිසියේ පියවර ගැනීමත් සමඟ එම අර්බුදය තවදුරටත් උග්‍ර වී තිබේ.
ජූලි 22 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 9 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව සහ පුරවැසි අධ්‍යාපනය යන විෂයයන්හි ප්‍රශ්න පත්‍ර මුද්‍රණාලයේ ප්‍රමාදයක් හේතුවෙන් නියමිත වේලාවට කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත යොමු කිරීමට නොහැකි වී ඇත. ඒ අනුව, එම විෂයයන් දෙකෙහි පරීක්ෂණ ජූලි 24 වැනිදා දක්වා කල් දැමීමට විභාග කාලසටහන සංශෝධනය කළ බව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබේ.
කෙසේ වෙතත්, අද (21) පස්වරු 2.30ට පමණ මෙම නිවේදනය ලැබෙන විටත් බොහෝ පාසල්වල විභාග කටයුතු නිමවී සිසුන් නිවෙස් බලා ගොස් තිබූ බැවින්, මෙම හදිසි වෙනස පිළිබඳව සිසුන් දැනුවත් කිරීමට පාසල්වලට නොහැකි වූ බව ලංකා ගුරු සංගමයේ මධ්‍යම විධායක සභික කැළුම් ද සිල්වා මහතා පැවසීය.
ජූලි 13 සිට 23 දක්වා දින 09ක් පුරා පැවැත්වෙන මෙම වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර අදියර දෙකකින් (ජූලි 8, 9 සහ ජූලි 15, 16) කොට්ඨාස කාර්යාල වෙතින් ලබාගන්නා ලෙස කලින් දැනුම් දී තිබුණ ද එම කාලසටහනට අනුව ප්‍රශ්න පත්‍ර ලැබී නොමැත. ජූලි 21 වන දිනට නියමිත ප්‍රශ්න පත්‍ර බොහෝ පාසල්වලට ලැබී ඇත්තේ එදින උදෑසනම වන අතර, ඒ හේතුවෙන් විභාග ආරම්භ කිරීම ප්‍රමාද වී තිබේ.
ප්‍රශ්න පත්‍ර ලබාගැනීමට විදුහල්පතිවරුන්ට දිනපතා කොට්ඨාස කාර්යාල වෙත ගොස් පැය ගණනක් රැඳී සිදුව ඇති අතර, ඒ හේතුවෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්වූ බව විදුහල්පතිවරු චෝදනා කරති. නෙළුව ලංකාගම පාසලේ විදුහල්පතිවරයාට ප්‍රශ්න පත්‍ර ලබාගැනීම සඳහා කොට්ඨාශ කාර්යාලය වෙත කිලෝමීටර් 28ක පමණ දුරක් ගමන් කිරීමට සිදුවන බවද ගුරු සංගමය පෙන්වා දෙයි. එම ගමන් සඳහා ප්‍රවාහන වියදම් ප්‍රතිපූරණය කිරීමේ කිසිදු ක්‍රමවේදයක් නොමැති බැවින්, ත්‍රිරෝද රථ ඇතුළු ප්‍රවාහන පහසුකම් සඳහා වැය වන මුදල් තම පෞද්ගලික වියදමින් දරාගැනීමට විදුහල්පතිවරුන්ට සිදුව ඇති බව ද ගුරු සංගමය පෙන්වා දෙයි.
ඇතැම් ප්‍රශ්න පත්‍ර ප්‍රමාණවත් සංඛ්‍යාවකින් මුද්‍රණය නොවීම, සිතියම් වැනි කොටස් අඩුවෙන් ලැබීම සහ ඇතැම් පාසල්වලට ප්‍රශ්න පත්‍ර නොලැබීම වැනි බරපතල අඩුපාඩු රැසක් මතුව තිබේ. උදාහරණයක් ලෙස, ජූලි 21 වන දින පැවැති කෘෂිකර්ම විෂයේ ප්‍රශ්න පත්‍රය ඇතැම් පාසල්වලට ලැබී තිබුණද, තවත් පාසල් කිහිපයකටම ලැබී නොමැති බව විදුහල්පතිවරු පවසති. ප්‍රශ්න පත්‍ර මාරුකර එවීම වැනි ගැටලු විශාල සංඛ්‍යාවක් ඇතිවීම හේතුවෙන් සමස්ථ විභාග ක්‍රියාවලියම අවුල් ජාලාවක් වූ බවද ඔවුහු වැඩිදුරටත් පවසති.
මෙවැනි පරිපාලන දුර්වලතා නිසා අඩාල වී ඇති විභාග ක්‍රියාවලිය කඩිනමින් විධිමත් කරන ලෙස ලංකා ගුරු සංගමය පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
සටහන: මෙම චෝදනා සම්බන්ධයෙන් විමසීම සඳහා දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට කිහිපවරක්ම උත්සාහ කළද, කාර්යාලයේ ස්ථාවර දුරකථනයට කිසිවෙකුගෙන් ප්‍රතිචාරයක් නොලැබුණි.



