27.2 C
Galle

ඩෙංගු සංකූලතා හේතුවෙන් අවුරුදු තුනක දැරිය මරුට

Published:

උණ වැළඳුණු දිනයේම දියණිය වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදුන්නද, රෝහලකට යොමු කරන ලෙස උපදෙස් නොලැබුණු බවත්, අවසානයේ තමන්ගේම තීරණයකින් රෝහලට රැගෙන ගියද එකම දියණියගේ ජීවිතය බේරාගත නොහැකි වූ බවත් ඩෙංගු සංකූලතා හේතුවෙන් මියගිය තුන් හැවිරිදි දැරියකගේ මව හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පැවසුවාය.

මියගොස් ඇත්තේ දික්වැල්ල, නිල්වැල්ල, ඇතුලස්සවත්ත ප්‍රදේශයේ පදිංචි යද්දෙහිගේ ජිපුලි මනුල්‍යා නමැති දැරියකි.

මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල ජාතික රෝහලේදී හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා ඉදිරියේ පැවැත්වුණු අතර, එහිදී සාක්ෂි ලබාදුන් මව වන විරිත්තමුල්ල ගමගේ තිළිණි ශ්‍යාමලී මහත්මිය තම දියණියගේ අවසන් දින කිහිපය පිළිබඳ කරුණු හෙළි කළාය.

ඇයගේ සාක්ෂියට අනුව, පසුගිය 13 වැනිදා දියණියට උණ වැළඳීමත් සමඟම ඇය අසල පිහිටි පෞද්ගලික වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබාගෙන තිබේ. වෛද්‍යවරයා දින තුනකට පසු රුධිර පරීක්ෂණ වාර්තාවක් රැගෙන එන ලෙස උපදෙස් දී තිබුණද, දරුවාගේ තත්ත්වය යහපත් නොවූ නිසා එදිනම පරීක්ෂණ සිදුකර වාර්තා ඉදිරිපත් කර ඇත.

එම වාර්තා සාමාන්‍ය තත්ත්වයේ නොමැති බව පවසමින් තවත් පරීක්ෂණ කිහිපයක් සිදුකරන ලෙස දැනුම් දී ඇති අතර, ඒවායේ ප්‍රතිඵල ද යහපත් නොවූ බව සඳහන් කරමින් ඖෂධ වෙනස් කර තිබුණද රෝහලකට යොමු කරන ලෙස උපදෙස් ලබාදී නොමැති බව මව පැවසුවාය.

දරුවාගේ තත්ත්වය පිළිබඳ සැකයක් ඇතිවීම නිසා තමන්ගේම තීරණයකින් ඇය දික්වැල්ල දිසා රෝහලට රැගෙන ගිය බවත්, එහි සිට මාතර මහ රෝහලටත්, පසුව එදිනම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලටත් මාරු කළ බවත් ඇය පැවසුවාය.

“මියගොස් සිටින්නේ මගේ එකම දියණිය. ඇයට වැඩිමල් පුතුන් දෙදෙනකු අපට සිටිනවා. මගේ සැමියා ධීවර රැකියාව කරන්නේ, මියගිය දියණිය පෙර පාසල් යනවා. පසුගිය 13 වෙනිදා උදේ දරුවට උණ ගත්තා, මම ගෙවල් ලඟ වෛද්‍යවරයෙකුට පෙන්වා බෙහෙත් ගෙනාවා. උණ අඩුවුණේ නැත්නම් දින තුනකින් ලේ රිපෝට් අරගෙන එන්න කියලා ඔහු ලියලා දුන්නා. ඒත් දරුවට උණ අඩුවුණේ නැති නිසා මම එදාම හවස ඒ ලේ රිපෝට් අරගත්තා. 14 වෙනිදා උදේ ගිහින් ඒවා වෛද්‍යවරයාට පෙන්නුවා. ඒවා හොඳ නෑ කියලා තව රිපෝට් වගයක් අරගෙන එන්න කිව්වා. ඒවත් එදාම හවස අරගෙන ගිහින් පෙන්නුවා. ඒ රිපෝට්නුත් හෙඳ නෑ කියලා බෙහෙත් වෙනස් කළා. ඒත් රෝහලකට යන්න කිව්වේ නැහැ. මම වැඩි හොඳට දරුවව දික්වැල්ල දිසා රෝහලට එක්කගෙන ගියා, රෝහලේ දරුවව නතර කරගෙන සේලයින් දුන්නා.” මව පවසයි.

කරාපිටිය රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍යවරුන් දරුවාට ඩෙංගු රක්තපාත උණේ බරපතළ සංකූලතා ඇතිව තිබූ බවත්, ශරීරයට විෂබීජ ආසාදනයක් ද එකතු වී ඇති බවත් ප්‍රකාශ කළ බව ඇය සඳහන් කළාය. සියලු ප්‍රතිකාර ලබාදුන්නද, දරුවා පසුගිය 20 වැනිදා උදෑසන මියගොස් තිබේ.

“දික්වැල්ල ‍රෝහලෙන් 15 වෙනිදා දරුවව මාතර රෝහලට යැව්වා. එදාම රෑ දරුවව කරාපිටිය රෝහලට එව්වා. ඒ වෙනකොට දරුවට ගොඩක් අමාරුයි, දරුවා කෙඳිරි ගගා හිටියේ, දරුවව කරාපිටිය රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයට ඇතුල් කළා. 16 වෙනිදා උදේ මම සැමියටත් කෝල් කරලා කිව්වා, දුවට අමාරුයි කියලා, ඔහු මුහුදු ගිහින් හිටියේ, දරුවා මැෂින් වලට හයි කරලා තිබුණේ, ඇයට ඩෙංගු රක්තපාත තත්ත්වයට ඇවිත් කියලා වෛද්‍යවරු කිව්වා. සිරුරට විෂබීජයකුත් ඇතුල් වෙලා කිව්වා. දරුවාගේ තත්ත්වය බරපතලයි කිව්වා. 17 වෙනිදා පාන්දර සැමියාත් දියණිය බලන්න ආවා. පසුගිය 20වෙනිදා උදේ 8.35ට විතර දරුවා නැතිවුණා.” මව වැඩිදුරටත් පැවසීය.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය පබසරා ගුණසිංහ මහත්මියගේ වාර්තාව, ඉදිරිපත් වූ සාක්ෂි සහ අනෙකුත් වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව, හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා තීරණය කළේ ඩෙංගු රක්තපාත උණෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

මෙම සිද්ධිය ඩෙංගු රෝගයේ මුල් ලක්ෂණ පෙනී යන අවස්ථාවේදීම නිසි වෛද්‍ය අධීක්ෂණය සහ අවශ්‍ය අවස්ථාවල රෝහල් ප්‍රතිකාර කඩිනමින් ලබා ගැනීමේ වැදගත්කම නැවත වරක් අවධාරණය කරන සිදුවීමක් ලෙස සැලකිය යුතුය.

Related articles

spot_img
error: Content is protected !!