නල්ලතන්නිය සිට මස්කෙළිය බලා ධාවනය වූ ත්‍රිරෝද රථයක් නල්ලතන්නිය–මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මෝහිණි ඇල්ල අසලදී ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පාසල් සිසුන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අද (22) පෙරවරු 8.15ට පමණ මෙම අනතුර සිදුව ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරා සහ එහි ගමන්ගත් වැඩිහිටි පුද්ගලයෙකි. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පුද්ගලයන් පස්දෙනෙකු ගමන් කර ඇති බවද පොලිසිය සඳහන් කළේය.
අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් තිදෙනා මුලින් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවා තිබේ.
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදී ප්‍රපාතයට පෙරළීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියෙකු පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



