28.6 C
Galle

ඉන්දියාවේ උමං අනතුරකින් 12ක් මරුට, තවත් 13 දෙනෙකු සොයා මෙහෙයුම් අඛණ්ඩව

Published:

ඉන්දියාවේ ඊසානදිග සිකිම් ප්‍රාන්තයේ ඉදිකරමින් පවතින ජල විදුලි ව්‍යාපෘතියකට අයත් උමං මාර්ගයක කොටසක් මීතේන් වායු පිපිරීමක් හේතුවෙන් කඩා වැටීමෙන් සේවකයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 13 දෙනෙකු සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව බලධාරීහු පවසති.

පසුගිය සඳුදා සිදුවූ මෙම අනතුර උමං මාර්ගය තුළ කිලෝමීටර් 1.5ක් පමණ ඇතුළත සිදුව ඇති බව ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකාය (NDRF) සඳහන් කළේය.

මෙම උමං මාර්ගය ටීස්ටා ගඟේ ජලය ජල විදුලි බලාගාරයේ ටර්බයින වෙත රැගෙන යාම සඳහා ඉදිකරමින් පවතින අතර, එය ඉන්දීය රජයට අයත් ජාතික ජල විදුලි බල සංස්ථාව (NHPC) මගින් ක්‍රියාත්මක කරන විශාල ජල විදුලි ව්‍යාපෘතියක කොටසකි.

NHPC ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පාෂාණ තුළ සිරවී තිබූ බවට සැක කෙරෙන මීතේන් වායුව හදිසියේ පිටවීමෙන් සිදුවූ පිපිරීම හේතුවෙන් ඝන දුමාරයක් සහ විෂ වායු නිකුත් වී අනතුර සිදුවූ බවයි. සිකිම් ප්‍රාන්ත රජයද මෙම අනතුරට හේතුව ලෙස මීතේන් වායු දහනය පෙන්වා දී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ උමං මාර්ගයේ විවිධ කොටස්වල සේවකයන් 27 දෙනෙකු සේවයේ නිරතව සිට ඇති අතර, ඉන් දෙදෙනෙකුට දිවි ගලවා ගැනීමට හැකිවී තිබේ. අනෙක් 25 දෙනා උමං මාර්ගය තුළ සිරවී ඇති අතර, මේ වනවිට ඔවුන්ගෙන් 12 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

අනතුරින් මියගිය පුද්ගලයන් හත්දෙනෙකුගේ අනන්‍යතාව මේ වනවිට තහවුරු කර ඇති අතර, ඔවුන් අතර සිකිම් ප්‍රාන්තයේ එක් අයෙකු සහ බටහිර බෙංගාලය, උත්තරාඛණ්ඩය හා අසෑම් ප්‍රාන්තවලින් පැමිණි සංක්‍රමණික සේවකයන් පිරිසක් සිටින බව පොලිසිය පවසයි. මරණයට නිශ්චිත හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව තහවුරු කෙරෙනු ඇත.

ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වනවිට උමං මාර්ගයේ මීටර් 200ක පමණ නිශ්චිත ප්‍රදේශයක් කේන්ද්‍ර කරගෙන සිරවී සිටින සේවකයන් සොයා මෙහෙයුම් සිදුකරමින් සිටී.

මෙම අනතුර සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කිරීම සඳහා සිකිම් ප්‍රධාන අමාත්‍ය ප්‍රේම් සිං තමාංගේ උපදෙස් මත විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර ඇති අතර, සිද්ධියට හේතු වූ කරුණු සොයා බලා එහි නිගමන අනුව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු ප්‍රකාශ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!