ඉන්දියාවේ අධ්‍යාපන පද්ධතියේ ප්‍රතිසංස්කරණ, විභාග ප්‍රශ්න පත්‍ර කාන්දු වීම වැළැක්වීම සහ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම ඉල්ලා සති පහකට ආසන්න කාලයක් පුරා පැවති විරෝධතා ව්‍යාපාරය අවසන් කිරීමට “කැරපොතු ජනතා පක්ෂය” (Cockroach Janta Party – CJP) තීරණය කර තිබේ.
ඒ, අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුවය.
මෙම විරෝධතා ව්‍යාපාරයේ නායකයින් පවසන්නේ එය තරුණ පරපුරේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බවයි. එම නිවේදනයෙන් පසු නවදිල්ලියේ ජන්තාර් මන්තාර් විරෝධතා භූමියේ රැඳී සිටි දහස් සංඛ්‍යාත පිරිසක් ගී ගායනා කරමින්, රසකැවිලි බෙදා හරිමින් සහ සටන් පාඨ කියමින් ජයග්‍රහණය සැමරූහ.
නමෙන් දේශපාලන පක්ෂයක් ලෙස පෙනුණද, “කොක්රෝච් ජනතා පක්ෂය” සැබෑ දේශපාලන පක්ෂයක් නොවේ. එය සමාජ මාධ්‍ය ඔස්සේ ආරම්භ වූ උපහාසාත්මක ජනතා ව්‍යාපාරයකි.
ඉන්දියාවේ අගවිනිසුරුවරයා ව්‍යාජ උපාධි ඇති ඇතැම් තරුණයන් විවේචනය කරමින් “කොක්රෝච්” යන වචනය භාවිත කළ අවස්ථාවකින් පසු, එම වචනය විරෝධතාවේ සංකේතය බවට පත් විය. පසුව කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කළ කොක්රෝච් චරිතයක් ව්‍යාපාරයේ සංකේතය ලෙස යොදා ගත් අතර, එය ඉන්ස්ටග්‍රෑම් හි මිලියන 26කට අධික අනුගාමිකයන් පිරිසක් එක්රැස් කරගැනීමට සමත් විය.
මෙම ව්‍යාපාරයට නායකත්වය දුන්නේ දේශපාලන සන්නිවේදන විශේෂඥයෙකු සහ ඇමරිකාවේ බොස්ටන් විශ්වවිද්‍යාලයේ හිටපු ශිෂ්‍යයෙකු වන 30 හැවිරිදි අභිජීත් ඩිප්කේය.
සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ධර්මේන්ද්‍ර ප්‍රධාන් ප්‍රකාශ කළේ, රටේ තරුණයන්ගේ අපේක්ෂාවන්ට ගරු කිරීම සඳහාත්, විරෝධතා තවදුරටත් දේශපාලනිකව භාවිත වීම වැළැක්වීම සඳහාත්, සිසුන්ට නැවත අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහාත් මෙම තීරණය ගත් බවයි.
ඔහුගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් වූ වහාම විරෝධතා නායක අභිජීත් ඩිප්කේ වේදිකාව මත සිට “අපි ජයග්‍රහණය කළා” යැයි ප්‍රකාශ කළ අතර, ඒ සමඟ විරෝධතාකරුවන් අතර දැඩි උද්යෝගයක් ඇති විය.
මෙම විරෝධතාවට ඉන්දියාවේ ප්‍රසිද්ධ අධ්‍යාපන ක්‍රියාකාරිකයෙකු වන සෝනම් වැංචුක් ද එක්වීමත් සමඟ එය ජාත්‍යන්තර අවධානයට ලක් විය. ඔහු ජූනි 28 වැනිදා සිට අනියත උපවාසයක් ආරම්භ කළ අතර, සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීමෙන් පසු පොලිසිය ඔහුව රෝහල්ගත කළේය. පසුව රජය ඉල්ලීම් සලකා බලන බවට පොරොන්දු වීමෙන් අනතුරුව ඔහු උපවාසය අවසන් කළේය.
පසුගිය සඳුදා පාර්ලිමේන්තුව වෙත පාගමනින් ගමන් කිරීමට උත්සාහ කළ විරෝධතාකරුවන්ට පොලිසිය බැටන් පොලු සහ කඳුළු ගෑස් භාවිත කරමින් පහරදීමත් සමඟ විරෝධතාව තවත් උණුසුම් විය.
එහිදී පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර, 70කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කර තිබිණි.
2014 වසරේ සිට බලයේ සිටින අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවට එරෙහිව මෑත කාලයේ එල්ල වූ ප්‍රබලතම මහජන විරෝධතාවක් ලෙස මෙය සැලකේ.
විරෝධතා උත්සන්න වීමත් සමඟ අගමැති මෝදි ද නිහඬතාව බිඳ දමමින් විභාග ප්‍රශ්න පත්‍ර කාන්දු කිරීම් සම්බන්ධයෙන් දැඩි දඬුවම් නියම කරන නව නීතියක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, විරෝධතා ව්‍යාපාරයේ නායකයන් පවසන්නේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමෙන් සටන අවසන් නොවන බවයි. විභාග අවලංගු වීම හේතුවෙන් සියදිවි හානි කරගත් සිසුන්ගේ පවුල්වලට සාධාරණයක් ඉටු කිරීම සහ විරෝධතා මර්දනයේදී අධික බලය භාවිත කළ බවට චෝදනා එල්ල වන පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීම සඳහා තමන් තවදුරටත් සටන් කරන බව ඔවුන් අවධාරණය කර ඇත.



