27.1 C
Galle

වොෂින්ටන් නගරයට මදුරුවන් ලක්ෂ 6ක් මුදාහැරියේ ඇයි?

Published:

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. සහ ඒ අවට ප්‍රදේශවල මදුරු ගහනය පාලනය කිරීම සඳහා මෙම ග්‍රීෂ්ම ඍතුවේදී පිරිමි මදුරුවන් ලක්ෂ 6ක් (600,000) හිතාමතාම මුදාහැරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ Bee Safe Mosquito Control නම් පෞද්ගලික ආයතනය විසිනි. මෙය ඇමරිකාවේ සාමාන්‍ය ජනතාවට සෘජුවම මෙම සේවාව ලබාදෙන ප්‍රථම පෞද්ගලික සමාගම බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙලෙස මුදාහරිනු ලබන්නේ මිනිසුන්ගේ ලේ උරාබොන ගැහැණු මදුරුවන් නොව, මිනිසුන්ට දෂ්ට නොකරන පිරිමි මදුරුවන් පමණි. එම මදුරුවන්ට Wolbachia නම් ස්වභාවික බැක්ටීරියාවක් ඇතුළත් කර ඇති අතර, එම පිරිමි මදුරුවන් සාමාන්‍ය ගැහැණු මදුරුවන් සමඟ සංසර්ගය කළ විට බිත්තර බිහිවුවද ඒවා පැටවුන් බවට පත් නොවන බැවින් මදුරු ගහනය ක්‍රමයෙන් අඩුවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මෙම වැඩසටහනේ ප්‍රධාන ඉලක්කය වන්නේ වොෂින්ටන් ප්‍රදේශයේ බහුලව සිටින ආසියානු කොටි මදුරුවා (Asian Tiger Mosquito) පාලනය කිරීමයි. මෙම මදුරු විශේෂය ඩෙංගු, සිකා (Zika), චිකන්ගුන්යා සහ වෙස්ට් නයිල් වෛරසය වැනි රෝග පැතිරවීමේ හැකියාව ඇති විශේෂයක් ලෙස සැලකේ.

Bee Safe Mosquito Control ආයතනයේ හිමිකරු ටොඩ් මොන්ට්ගොමරි පවසන්නේ මෙම පිරිමි මදුරුවන් මුදාහැරීම ජුනි මාසයේ ආරම්භ කළ අතර සැප්තැම්බර් මාසය දක්වා එය අඛණ්ඩව සිදු කරන බවයි. මෙම වැඩසටහන සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර, වර්තමාන වාරය සඳහා සියලුම සේවා වෙන්කරවා අවසන් වී ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

මෙම තාක්ෂණය ඇමරිකාවේ තවදුරටත් ව්‍යාප්ත කිරීමට ද සැලසුම් කර තිබේ. Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ද කැලිෆෝනියා සහ ෆ්ලොරිඩා ප්‍රාන්තවල Wolbachia බැක්ටීරියාව සහිත මදුරුවන් මිලියන ගණනක් මුදාහැරීමට අනුමැතිය ඉල්ලා ඇත.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් උණුසුම් සහ තෙත් කාලගුණික තත්ත්වයන් වැඩි වීම මදුරුවන්ගේ ප්‍රජනනයට හිතකර පරිසරයක් නිර්මාණය කර ඇති බවයි. ඒ සමඟ ඩෙංගු ඇතුළු මදුරුවන් මඟින් පැතිරෙන රෝග ව්‍යාප්ත වීමේ අවදානම ද ඉහළ යමින් පවතින බැවින්, රසායනික කෘමිනාශකවලට විකල්පයක් ලෙස මෙවැනි ජෛව පාලන ක්‍රම පිළිබඳ අවධානය ලොව පුරා වැඩි වෙමින් පවතී.

එහෙත් විද්‍යාඥයන් අවධාරණය කරන්නේ මෙම ක්‍රමය පමණක් ප්‍රමාණවත් නොවන බවයි. නිවාස අවට ජලය රැඳෙන ස්ථාන ඉවත් කිරීම, කුණු කසළ නිසි ලෙස බැහැර කිරීම සහ වෙනත් මදුරු පාලන ක්‍රම සමඟ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ විට පමණක් දිගුකාලීන සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව ඔවුන් පෙන්වා දෙති.

Related articles

spot_img
error: Content is protected !!