30.9 C
Galle

ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි

Published:

ඝානාවේ උසම මිනිසා ලෙස සැලකුණු සුලෙමානා අබ්දුල් සමේඩ් හෙවත් “අවුචේ”ගේ මරණයත් සමඟ එරට උතුරු ප්‍රදේශය පුරා දැඩි ශෝකයක් පැතිර ගොස් තිබේ. ඔහු 33 හැවිරිදි වියේදී පසුගිය සඳුදා උදෑසන තමා ප්‍රතිකාර ලබමින් සිටි තමාලේ ශික්ෂණ රෝහලේදී මියගිය බව පවුලේ ඥාතීහු තහවුරු කළහ.

උස අඩි 7යි අඟල් 4ක් (සෙන්ටිමීටර් 223) ලෙස 2022 වසරේදී BBC ආයතනය විසින් මිනුම් ගත් මෙම දැවැන්තයා, ඝානාවේ උතුරු ප්‍රදේශයේ ගම්බාගා නම් කුඩා ගම්මානයේ පදිංචිකරුවෙකි. ඔහුගේ අසාමාන්‍ය උස හේතුවෙන් “ගම්බාගාවේ දැවැන්තයා” ලෙස රට පුරා ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

ඔහුගේ ඥාතියෙකු වන සුලෙමානා අබ්දුල් කුදුස් BBCයට පැවසුවේ, “ඔහු මියගිය මොහොතේ සිට මේ දක්වාම ජනතාව දිගින් දිගටම නිවසට පැමිණෙමින් සිටිනවා. ඔහු කෙතරම් කරුණාවන්ත සහ අන් අයට උදව්කරන මිනිසෙක්ද යන්න හැමෝම දැනගෙන හිටියා” යනුවෙනි.

“අවුචේ” යන්න හවුසා භාෂාවෙන් “යමු” යන අර්ථය ලබා දෙන අතර, එම නාමයෙන් ඔහු ඝානාව පුරා ජනප්‍රිය වී සිටියේය. ගම්බාගා ගම්මානයේ නම රට පුරා හඳුනා ගැනීමට ඔහුගේ ජනප්‍රියත්වය විශාල හේතුවක් වූ බව ප්‍රදේශවාසීහු පවසති.

අවුචේගේ අසාමාන්‍ය උසට හේතු වූයේ මාර්ෆන් සින්ඩ්‍රෝමය (Marfan Syndrome) නම් දුර්ලභ ජානමය රෝගී තත්ත්වයකි. මෙම රෝගය ශරීරයේ සම්බන්ධක පටකවලට බලපාන අතර, අත් පා අසාමාන්‍ය ලෙස දිගු වීම, කොඳු ඇට පෙළ වකුටුවීම සහ වෙනත් ශාරීරික සංකූලතා ඇති කළ හැකිය.

ඔහු 22 හැවිරිදි වියේදී අක්‍රා නුවර මස් වෙළඳසලක සේවය කරමින් සිටියදී තම සිරුරේ වෙනස්කම් මුලින්ම නිරීක්ෂණය කළ බව 2022 දී BBCයට පවසා තිබිණි.

“මගේ දිව විශාල වෙලා හුස්ම ගන්නත් අමාරු වුණා. ඊට පස්සේ ශරීරයේ අනෙක් කොටස්ත් වේගයෙන් විශාල වෙන්න පටන් ගත්තා” යැයි ඔහු එහිදී පැවසීය.

අසාමාන්‍ය උස හේතුවෙන් වසර නවයකට පෙර ඔහුට රියදුරෙකු වීමේ සිහිනය අත්හැර නැවත ගම්බාගාවට පැමිණීමට සිදු විය. “මම කලින් පාපන්දු ක්‍රීඩා කළා. මම හොඳ ක්‍රීඩකයෙක්. දැන් කෙටි දුරක්වත් ඇවිදින්න අමාරුයි” යැයි ඔහු කණගාටුවෙන් පවසා තිබිණි.

එහෙත් ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අඳුරු වූයේ නැත. ජනප්‍රියත්වය භුක්ති විඳිමින්, තම ගම්මානයේ දරුවන් හා ජනතාව සමඟ සිනහවෙන් කාලය ගත කිරීමට ඔහු ප්‍රිය කළ බව මිතුරෝ පවසති.

මෑතකදී ඝානාවේ ජනාධිපති ජෝන් මහමා මහතාගේ සොහොයුරු සහ ප්‍රකට ව්‍යාපාරික ඉබ්‍රාහිම් මහමා මහතා ඔහුගේ වෛද්‍ය වියදම් භාර ගැනීමට ඉදිරිපත් විය. තමාලේ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය සහාය ලබා දීමට ඔහු කටයුතු කළ අතර, මේ මස මුලදී සැලසුම් කළ ප්‍රතිකාර පිළිබඳවද යාවත්කාලීන තොරතුරු නිකුත් කර තිබිණි.

අවුචේගේ පාදවල තිබූ තුවාල ආසාදනය වීම හේතුවෙන් ඔහු රෝහල්ගත කර තිබූ අතර, වෛද්‍යවරුන් පවසා තිබුණේ ප්‍රතිකාර සඳහා ඔහු යහපත් ප්‍රතිචාර දක්වමින් සිටි බවයි. එහෙත් සඳුදා උදෑසන ඔහු හදිසියේම මියගොස් ඇත.

ඔහුගේ දේහය ගම්බාගාවට ගෙන යාමට පවුලේ සාමාජිකයන් මුලින් සැලසුම් කළද, අතිවිශාල ජනකායක් පැමිණීමේ හැකියාව හේතුවෙන් අවසන් කටයුතු තමාලේ නුවරදී සිදු කිරීමට තීරණය කර තිබේ.

“ඔහු කොහේ ගියත් ‘මම ගම්බාගාවේ කෙනෙක්’ කියලා කියනවා. එතකොට හැමෝම ‘අන්න උසම මිනිසා ඉන්න ගම’ කියලා අපේ ගම හඳුනාගන්නවා. ඔහු අපේ ගමට අනන්‍යතාවයක් ලබා දුන්නා” යැයි ඔහුගේ ඥාතියෙකු කඳුළු පිරි දෙනෙතින් පැවසීය.

ගම්බාගා ගම්මානයේ මිනිසුන්ට ඔහු සාමාන්‍ය මිනිසෙකු නොවීය. ඔහු යෝධ සිරුරක් ඇති, නමුත් මෘදු හදවතක් ඇති මිනිසෙක් ලෙස සදා මතකයේ රැඳී සිටිනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!