ජර්මනියේ අධික උෂ්ණත්ව තත්ත්වය හේතුවෙන් මේ වසරේ මේ දක්වා පුද්ගලයින් 9,800කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව එරට රොබට් කොච් සෞඛ්‍ය ආයතනය (RKI) පවසයි.
එම ආයතනය නිකුත් කළ සතිපතා වාර්තාවට අනුව, ඉදිරි දිනවලදී ජර්මනියේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවිය හැකි බවට ද අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
RKI ආයතනය සඳහන් කළේ, අවුරුදු 75 සහ ඊට වැඩි පුද්ගලයින් අතර උෂ්ණත්වය ආශ්‍රිත මරණ වැඩි වශයෙන් වාර්තා වන බවයි. විශේෂයෙන් සතියක සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ඉක්මවන අවස්ථාවලදී මරණ අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ යන බවද එම ආයතනය පෙන්වා දෙයි.
“මෙම ග්‍රීෂ්ම සමයේදී ඇතිවිය හැකි උෂ්ණත්ව රළ (Heatwaves) හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව අපේක්ෂා කරනවා,” යැයි වාර්තාවේ සඳහන් වේ.
පසුගිය ජූනි මාසයේදී ජර්මනිය දැනටමත් වාර්තාගත උෂ්ණත්ව රළකට මුහුණ දුන් අතර, රටේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 හෝ ඊට වැඩි අගයන් වාර්තා කර තිබිණි.
දේශගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, යුරෝපය පුරා පවතින දේශගුණික විපර්යාස තත්ත්වය හේතුවෙන් මෙවැනි අධික උෂ්ණත්ව තත්ත්වයන් වැඩි වශයෙන් ඇතිවෙමින් පවතින බවයි.
ජර්මානු සෞඛ්‍ය බලධාරීන් වැඩිහිටියන්, හෘද හා ශ්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයින් සහ තනිව ජීවත් වන වයෝවෘද්ධයන් සම්බන්ධයෙන් විශේෂ අවධානයෙන් පසුවන අතර, ප්‍රමාණවත් ජලය පානය කිරීම, සෘජු හිරු එළියෙන් වැළකීම සහ උණුසුම් කාලවලදී අධික ශාරීරික වෙහෙසෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජර්මනියේ මෙම තත්ත්වය, අධික උෂ්ණත්වය මහජන සෞඛ්‍යයට එල්ල කරන බලපෑම පිළිබඳ යුරෝපය පුරා නැවතත් දැඩි අවධානය යොමු කරවමින් තිබේ.



