29.4 C
Galle

තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්

Published:

තායිලන්තයේ බැංකොක් අගනුවර ආසන්නයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකින් ගුරුවරියක සහ වෙඩි තැබීම සිදුකළ බවට සැකකෙරෙන 14 හැවිරිදි සිසුවා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

නොන්තබුරි (Nonthaburi) ප්‍රදේශයේ පිහිටි ‘දෙබ්සිරින්’ (Debsirin School) පාසලේදී මෙම දරුණු ප්‍රහාරය සිදුව තිබේ.

නව වැනි ශ්‍රේණියේ (9th Grade) ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, පසුව ඔහු විසින්ම ජීවිතක්ෂයට පත්වන ලෙස වෙඩි තබාගෙන ඇති බවට වාර්තා වේ. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ තුවාල ලැබූ සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

වෙඩි තැබීම සිදු වන අවස්ථාවේදී පාසල් පරිශ්‍රයේ සිටි සිසුන් සහ කාර්ය මණ්ඩලය බියෙන් තැතිගෙන ආරක්ෂිත ස්ථාන වෙත දිවගොස් ඇති අතර, සිදුවීම සැලවීමත් සමග සහන සේවකයින් සහ පොලිස් කණ්ඩායම් වහාම එම ස්ථානයට ළඟා වී තිබේ.

“මුලින්ම මම හිතුවේ රතිඤ්ඤා පත්තු වෙනවා නැත්නම් කවුරුහරි යකඩයකට ගහනවා කියලා. එක දිගට ‘බෑං බෑං’ ගාලා සද්ද ආවා, ඊටපස්සේ නිශ්ශබ්ද වෙලා ආයෙත් වෙඩි තියන්න ගත්තා,” යැයි සිද්ධිය ඇසින් දුටු සිසුවෙකු විදේශ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

තායිලන්තය තුළ නීති විරෝධී ගිනිඅවි ළඟ තබා ගැනීමට වසර 10 දක්වා සිරදඬුවම් ලැබිය හැකි දැඩි නීති පැවතියද, ගිනිකොනදිග ආසියාවේ වැඩිම පෞද්ගලික ගිනිඅවි හිමිකාරිත්වයක් සහිත රටක් ලෙසද එය සැලකේ.

පසුගිය වසරවලදීද තායිලන්තයේ මෙවැනි වෙඩි තැබීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වූ අතර, පසුගිය පෙබරවාරි මාසයේදී ද දකුණු තායිලන්තයේ පාසලක සිදුවූ මෙවැනිම ප්‍රහාරයකින් පාසල් විදුහල්පතිවරයෙකු ජීවිතක්ෂයට පත් විය.

Related articles

spot_img
error: Content is protected !!