බටහිර කොලොම්බියාවට බලපෑ ප්‍රබල රික්ටර් මාපකයේ 7.4ක භූකම්පනයෙන් ගොඩනැගිල්ලක් කඩා වැටී සුන්බුන් යට පැය 36ක් සිරවී සිටි 32 හැවිරිදි කාන්තාවක් බේරාගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබේ.
ඩැනියෙලා ලාර්ගෝ නම් මෙම කාන්තාව කොලොම්බියාවේ කෝපි වගා කලාපයට අයත් පෙරෙයිරා නගරයේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටියදී සොයාගෙන ඇත. ඇය මුදාගැනීම සඳහා පැය 10කට අධික කාලයක් පුරා ගලවාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ගිනි නිවන භටයන්ට මුලදී ඇය වෙත ළඟාවීමට නොහැකි වී ඇත්තේ ඇය මතට කොන්ක්‍රීට් තට්ටු හතරක් කඩා වැටී තිබීම හේතුවෙනි. ඒ අනුව ඔවුන් සුන්බුන් යටින් උමං මාර්ගයක් කැණීමෙන් අනතුරුව ඇය වෙත ළඟා වීමට සමත්ව තිබේ.
ඩැනියෙලාගේ මව විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, ප්‍රදේශවාසියෙකුට සුන්බුන් යටින් ඇය උදව් ඉල්ලා කෑගසන ශබ්දය ඇසීමෙන් පසුව ගලවාගැනීමේ අංශ දැනුවත් කළ බවයි. හදිසි සහන සේවකයන් කුඩා කැමරාවක් භාවිත කර ඇයගේ ස්ථානය නිශ්චිතව හඳුනාගෙන තිබේ.
ගලවාගැනීමේ කණ්ඩායම් මුලින් ඉහළින් සිදු කළ කැණීම් හරහා ඇයට ඔක්සිජන් සැපයූ අතර, අවසානයේ පහළින් කැණූ දෙවැනි උමං මාර්ගය හරහා ඇය ආරක්ෂිතව පිටතට ගෙන ඇත.
කොලොම්බියානු ජනාධිපති අබෙලාර්ඩෝ ද ලා එස්ප්‍රියෙල්ලා මෙම ගලවාගැනීම “අපට බලාපොරොත්තු ලබාදෙන පුවතක්” ලෙස හඳුන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබේ. ඇයගේ මව සඳහන් කර ඇත්තේ, නිවසේ ඇය එනතුරු බලා සිටින 12 හැවිරිදි පුතෙකු සිටින බවයි.
මරණ සංඛ්‍යාව 188 දක්වා ඉහළට
කොලොම්බියානු බලධාරීන්ට අනුව මෙම භූකම්පනයෙන් මේ වන විට 188 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සිය ගණනක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.
පෙරෙයිරා නගරයේ පුද්ගලයන් 79 දෙනෙකු මියගොස් ඇති අතර, කාලි නගරයේ මරණ සංඛ්‍යාව 95 දක්වා ඉහළ ගොස් තිබේ. පෙරෙයිරා නගරයේ ගොඩනැගිලි 92ක් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අතර, තවත් පුද්ගලයන් 15 දෙනෙකු සුන්බුන් යට සිරවී සිටින බවත් 37 දෙනෙකු අතුරුදන් වී ඇති බවත් වාර්තා වේ.
කාලි නගරයේ පුද්ගලයන් 200කට අධික පිරිසක් තවමත් සුන්බුන් යට සිරවී සිටින බව බලධාරීන් පවසන අතර, ගලවාගැනීමේ මෙහෙයුම් ආරක්ෂිතව සිදු කිරීම සඳහා එහි රාත්‍රී ඇඳිරි නීතියක් ද පනවා තිබේ.
තත්පර 90කට වැඩි කම්පනය
භූකම්පනය සඳුදා පෙරවරු 7.34ට සිදුව ඇති අතර, එහි අපිකේන්ද්‍රය චොකෝ පළාතේ සැන් හොසේ ඩෙල් පල්මාර් ගම්මානය ආසන්නයේ පිහිටා තිබිණි. කම්පනය තත්පර 90 සිට මිනිත්තු දෙකක් දක්වා පැවති බව භූකම්පන මධ්‍යස්ථාන වාර්තා කරයි.
භූකම්පනයෙන් පසු අතුරු කම්පන 100කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, තවදුරටත් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයාගැනීමේ අපේක්ෂාවෙන් ගලවාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇත.



