ජපානයේ චිබා ප්‍රාන්තයේ නගරෙයමා නගරයේදී 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික ජාතිකයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.
මියගොස් ඇත්තේ ජයකොඩි ආරච්චිලාගේ ප්‍රවීන් ඉසුරු නමැති 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකි. ඔහු ජපානයේ අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිටි බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු ජපාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සහ මියගිය තරුණයා එකම ලැගුම්හලක නවාතැන් ගෙන සිටි බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.
ජපාන පොලීසිය සඳහන් කරන්නේ, දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවට මූලික විමර්ශනවලින් හෙළි වී ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, අදාළ සිද්ධිය අගෝස්තු 11 වැනිදා පෙරවරු 10.20ට පමණ නගරෙයමා නගරයේ හිගාෂි-හට්සුඉෂි ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නවාතැන් ස්ථානයේදී සිදුව තිබේ.
සැකකරු විසින් මියගිය තරුණයාගේ උදර ප්‍රදේශයට පිහියකින් ඇන ඇති බව පොලීසිය පවසයි. පහරදීමෙන් අනතුරුව සැකකරු විසින්ම ජපානයේ හදිසි සේවා අංකය වන 119 අමතා සිද්ධිය පිළිබඳ දැනුම් දී ඇති බවද වාර්තා වේ.
බරපතළ තුවාල ලබා සිටි තරුණයා වහාම රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී තිබුණද, පසුව ඔහු මියගිය බව ජපාන බලධාරීන් තහවුරු කර ඇත.
ජපාන පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු විසින් පහරදීම සිදුකළ බව පිළිගෙන ඇති බව NHK ඇතුළු ජපාන මාධ්‍ය වාර්තා කරයි.
ඔහු පවසා ඇත්තේ, මියගිය තරුණයා තමන්ට පහර දීම, තම මවට අපහාස කිරීම සහ තමන්ට අපහාසාත්මක වචන භාවිත කිරීම හේතුවෙන් ඇති වූ දැඩි කෝපය පාලනය කරගත නොහැකිව මෙම ක්‍රියාව සිදුකළ බවයි.
චිබා ප්‍රාන්ත පොලීසිය මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, දෙදෙනා අතර ඇති වූ ගැටුමේ නිශ්චිත තත්ත්වයන්, පහරදීමට පෙර සිදුවීම් සහ එයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටින බව වාර්තා වේ.
මෙම සිද්ධිය ජපානයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාව අතර දැඩි කම්පනයක් ඇති කර තිබෙන අතර, විදේශගත ශ්‍රී ලාංකිකයන් අතරද විශාල අවධානයක් යොමු වී තිබේ.



