29 C
Galle

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්, ලංකාවට සුනාමි අවදානමක් නෑ

Published:

ඉන්දුනීසියාවේ නැගෙනහිර නුසා තෙන්ගාරා පළාතට අයත් ෆ්ලෝරස් දූපත ආසන්නයේ අද (15) අලුයම රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

භූකම්පනය හේතුවෙන් අවම වශයෙන් එක් අයකු මියගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා ඇති බව ඉන්දුනීසියානු ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.

මෙම භූකම්පනය දේශීය වේලාවෙන් අලුයම 5.00ට ආසන්න වේලාවක සිදුව ඇති අතර, කිලෝමීටර් 15ක් පමණ ගැඹුරේ එය හටගෙන ඇති බව ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා, දේශගුණ විද්‍යා හා භූ භෞතික ඒජන්සිය සඳහන් කර තිබේ.

භූකම්පනයත් සමඟ මවුමෙරේ නගරය ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත්ව නිවාසවලින් සහ ගොඩනැගිලිවලින් පිටතට පැමිණ ඇති අතර, ඇතැම් පිරිස් ආරක්ෂිත ස්ථාන සොයා උස්බිම් වෙත ගමන් කර තිබේ.

මවුමෙරේ වරායේ සිදුවූ කම්පනය හේතුවෙන් පර්යන්ත ගොඩනැගිල්ලේ විශාල කොන්ක්‍රීට් කොටස් කඩා වැටී ඇති අතර, එම අවස්ථාවේ අන්තර්දූපත් මගී ප්‍රවාහන යාත්‍රාවකට ගොඩවීමට බලා සිටි පිරිසක් ඒ අසල සිට ඇති බව වාර්තා වේ. යාත්‍රාවට සම්බන්ධ කර තිබූ මාර්ගය කඩා වැටීමෙන් කිහිප දෙනකු මුහුදට වැටී ඇති බවද වාර්තා වී තිබේ.

භූකම්පනයෙන් අනතුරුව සුනාමි අවදානමක් මතුවිය හැකි බවට ඉන්දුනීසියානු බලධාරීන් විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කළද පසුව එම අනතුරු ඇඟවීම ඉවත් කර තිබේ.

කෙසේ වෙතත් ප්‍රදේශයේ තවදුරටත් ප්‍රබල පසු කම්පන සිදුව ඇති අතර, ඉන් එක් පසු කම්පනයක් රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයකින් යුක්ත බව සඳහන් වේ. තවත් පසු කම්පන 5.9 සහ 5.6ක ප්‍රබලත්වයෙන් සිදුව ඇති බවද වාර්තා වේ.

ආපදා කළමනාකරණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ සන්සුන්ව සිටින ලෙසත්, වෙරළබඩ ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසත්ය. භූකම්පනයෙන් ඉරිතැලීම් හෝ ව්‍යුහාත්මක හානි සිදුව ඇති ගොඩනැගිලිවලට ඇතුළු නොවන ලෙසද ඔවුන් අනතුරු අඟවා තිබේ.

හානි සිදුවූ ගොඩනැගිලිවල සිරවී සිටින පුද්ගලයන් සොයා මුදාගැනීම සඳහා සෙවීම් හා මුදාගැනීමේ කණ්ඩායම් මේ වනවිට මවුමෙරේ ප්‍රදේශයේ මෙහෙයුම් ආරම්භ කර තිබේ. එම ප්‍රදේශය දුරස්ථ සහ කඳුකර භූමියක පිහිටා ඇති බැවින් සම්පූර්ණ හානිය තක්සේරු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බව බලධාරීහු පවසති.

ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ ඒජන්සිය මුලදී පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බව සඳහන් කළද, භූමියේ සිටින නිලධාරීන් විසින් සිදුකළ තහවුරු කිරීම්වලින් පසුව එක් මරණයක් පමණක් තහවුරු වී ඇති බව පසුව නිවේදනය කළේය.

මේ අතර, මෙම භූකම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!