31.3 C
Galle

සමාජ මාධ්‍යයට අත තැබීම වරලත් මාධ්‍ය ආයතනයේ ඉලක්කයක් – නීතිඥ සංජය විල්සන්

Published:

යෝජිත ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය හරහා සමාජ අර්බුදය විද්‍යමාන වන සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය පාලනය කිරීමේ උත්සාහයක් පවතින බව නීතිඥ සංජය විල්සන් ජයසේකර මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ යෝජිත ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සහ එමගින් භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ඊයේ (14) කොළඹ ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමිනි.

නීතිඥ ජයසේකර මහතා සඳහන් කළේ යෝජිත වරලත් මාධ්‍ය ආයතනය, රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ යෝජිත නීති සහ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ක්‍රියාමාර්ග තුළ එකම දේශපාලන හරයක් දැකිය හැකි බවයි.

මෙවැනි ක්‍රියාමාර්ග හරහා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බරපතළ බලපෑමක් එල්ල විය හැකි බවත්, එම තත්ත්වයට අභියෝග කිරීමේදී මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය අසමත්වීම කැපී පෙනෙන කරුණක් බවත් ඔහු පැවසීය.

මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්ෂේත්‍රය දෙකඩ කරමින් එක් පිරිසකට පිළිගැනීමක් ලබාදීමත්, අනෙක් පිරිස මහජනයා ඉදිරියේ ප්‍රශ්න කිරීමත් සඳහා උපක්‍රමික වෑයමක් පවතින බවද ඔහු චෝදනා කළේය.

යෝජිත පනත් කෙටුම්පත මගින් තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා යම් ආකාරයකින් රාජ්‍ය අනුමැතියක් අවශ්‍ය වන තත්ත්වයක් ඇති විය හැකි බව නීතිඥ ජයසේකර මහතා පැවසීය.

“ආණ්ඩුවේ සහතිකයක් නැතිව අදහස් ප්‍රකාශ කරන්න බැරි තත්ත්වයක් ඇතිවීම කිසිදු ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැකියි” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකරන අන්තර්ගත නිර්මාණකරුවන්ටද ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් බලපෑ හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

මාධ්‍ය ආයතනවල සේවය කරන වෘත්තිකයන්ට පමණක් නොව, ස්වාධීන මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණකරුවන් සම්බන්ධයෙන්ද ප්‍රශ්න මතුවිය හැකි බව ඔහු පැවසීය.

මෙම තත්ත්වය යම් මට්ටමකින් දැනටමත් ප්‍රායෝගිකව දක්නට ලැබෙන බව සඳහන් කළ ඔහු, රජයේ මාධ්‍ය හැඳුනුම්පත නොමැති මාධ්‍යවේදීන්ට ඇතැම් රාජ්‍ය කටයුතු ආවරණය කිරීමේදී බාධා මතුවන බවද සඳහන් කළේය.

පොලිස් ආයතන වෙත තොරතුරු වාර්තා කිරීමට යන අවස්ථාවලදී පවා ඇතැම් විට මාධ්‍ය හැඳුනුම්පත පිළිබඳ විමසීම් සිදුවන බවත්, එහෙත් පුරවැසියකුට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් පොලිසියද අවබෝධයෙන් සිටින බවත් ඔහු පැවසීය.

ඉදිරියේදී හැඳුනුම්පතකට පමණක් සීමා නොවී මාධ්‍ය වෘත්තියේ නිරත වීමට බලපත්‍රයක් අවශ්‍ය වන තත්ත්වයක් ඇති විය හැකි බවද ඔහු අනතුරු ඇඟවීය.

“ගොවි උද්ඝෝෂණයකට ගිය විට වරලත් ආයතනයේ සාමාජිකයෙක්ද කියලා අහන තත්ත්වයක් ඉදිරියේදී ඇති විය හැකියි” යැයිද ඔහු පැවසීය.

සංස්ථාපිත මාධ්‍ය ආයතනවල සේවය කරන ඇතැම් පිරිස් මෙවැනි ක්‍රමයකට කැමැත්ත පළ කළ හැකි බවද ඔහු සඳහන් කළේය. එහෙත් මාධ්‍ය ක්ෂේත්‍රය දෙකට බෙදීම වෙනුවට සමස්තයක් ලෙස භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට සිදුවිය හැකි බලපෑම පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

රට තුළ පවතින සමාජ හා ආර්ථික අර්බුදය සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් ප්‍රකාශයට පත්වන බැවින් සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමුවී ඇති බවද නීතිඥ ජයසේකර මහතා පැවසීය.

භාණ්ඩ මිල ඉහළ යාම, ජීවන වියදම සහ ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලු හේතුවෙන් සමාජයේ පවතින අතෘප්තිය පිළිබඳ ආණ්ඩුව අවබෝධයෙන් සිටින බවත්, එම අර්බුදය ප්‍රකාශයට පත්වන ප්‍රධාන වේදිකාවක් ලෙස සමාජ මාධ්‍යය හඳුනාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

වෘත්තීය සමිති ව්‍යාපාරය මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදුකර නොමැති බවටද ඔහු චෝදනා කළේය.

විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සමඟ යම් මට්ටමකින් එකඟව සිටීම හේතුවෙන් මෙවැනි ක්‍රියාමාර්ගවලට එරෙහිව පුළුල් විරෝධයක් ගොඩනැගීමේ දුෂ්කරතාවක් පවතින බවද ඔහු පැවසීය.

මෙම සම්මන්ත්‍රණයේදී නීතිඥ ලක්ෂාන් ඩයස් සහ නීතිඥ ශිරාල් ලක්තිලක යන මහත්වරුන්ද අදහස් දැක්වූ අතර, සංවාදය මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා මහතා විසින් මෙහෙයවනු ලැබීය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් මෙම සංවාදය සංවිධානය කර තිබුණේ යෝජිත ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම මගින් භාෂණයේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇති විය හැකි බලපෑම් පිළිබඳව මහජන සංවාදයක් ඇති කිරීමේ අරමුණෙනි.

Related articles

spot_img
error: Content is protected !!