දෙමාපියන්, භාරකරුවන් හෝ ගුරුවරුන්ගේ අවසරයකින් තොරව දරුවන්ගේ ප්‍රකාශ ලබාගැනීම, පටිගත කිරීම හෝ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.
මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් කිහිපදෙනකු විභාගයෙන් පසුව මාධ්‍ය වෙත ලබාදුන් අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමෙන් අනතුරුව ඔවුන් උපහාසයට සහ අපහාසයට ලක්වීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය හේතුවෙනි.
අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දී ඇත්තේ විභාගයෙන් අනතුරුව දරුවන් විසින් කළ ඇතැම් ප්‍රකාශ ඔවුන්ට හානිවන ආකාරයෙන් උපුටා දක්වමින් සහ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහරිමින් තිබෙන අවස්ථා නිරීක්ෂණය කර ඇති බවයි.
දරුවන්ගේ වයස, මානසික තත්ත්වය සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වය සැලකිල්ලට ගනිමින් මාධ්‍ය වාර්තාකරණයේදී විශේෂ වගකීමකින් කටයුතු කළ යුතු බවද අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.
දෙමාපියන්, භාරකරුවන් හෝ ගුරුවරුන්ගේ අවසරයකින් තොරව දරුවන්ගෙන් අදහස් ලබාගැනීම, ඒවා පටිගත කිරීම හෝ විකාශය කිරීම මාධ්‍ය ආයතන විසින් සිදු නොකළ යුතු බවද අමාත්‍යාංශය සඳහන් කර ඇත.
දරුවන් සම්බන්ධ වීඩියෝ සහ ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන මාධ්‍ය ආයතන සහ අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් නීති උල්ලංඝනයක් සිදුව ඇත්නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවටද අනතුරු ඇඟවීමක් කර තිබේ.
විශේෂයෙන්ම විභාග ප්‍රතිඵල හෝ දරුවන්ගේ අදහස් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ ජනප්‍රිය කර ගැනීමේ අරමුණින් ඔවුන්ගේ ප්‍රකාශ ප්‍රචාරය කිරීමේදී දරුවන්ගේ අයිතිවාසිකම් සහ ගෞරවය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.
දරුවන් සම්බන්ධ මාධ්‍ය වාර්තාකරණයේදී ඔවුන් අපහසුතාවයට, අපහාසයට හෝ මානසික පීඩනයකට පත්වීම වැළැක්වීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බවද අමාත්‍යාංශය අවධාරණය කර ඇත.



