යාපනය කුරිකට්ටුවාන් ජැටියේ සිට ඩෙල්ෆ්ට් දූපත බලා ගමන් කරමින් තිබූ මගී බෝට්ටුවක් නාගදීපය ආසන්න මුහුදේදී අද (16) අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ මගීන් 10 දෙනාම නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය සඳහන් කළේ අනතුරට ලක්වන අවස්ථාවේ බෝට්ටුවේ පිරිමි පුද්ගලයන් අට දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු සිටි බවයි.
අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලැබීමත් සමඟ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සම්බන්ධ වෙමින් කඩිනම් මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරන ලෙස උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව නාවික හමුදාව නාගදීපය සහ ඩෙල්ෆ්ට් දූපතේ ජනතාවගේ සහායද ඇතිව මෙහෙයුමක් ක්‍රියාත්මක කර මගීන් 10 දෙනාම බේරාගෙන ඇත.
මුදාගත් මගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගදීප රෝහලට ඇතුළත් කර තිබේ.
මේ අතර බෝට්ටුව අනතුරට ලක්වීමට හේතුව සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ මගීන් සඳහා ප්‍රමාණවත් ජීවිතාරක්ෂක කබා ලබාදී තිබුණේද සහ නාවික මගී ප්‍රවාහනය සඳහා අදාළ ආරක්ෂක ක්‍රියාපටිපාටි නිසි පරිදි අනුගමනය කර තිබුණේද යන්න සම්බන්ධයෙන්ද විමර්ශනය කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම නාවික මගී ප්‍රවාහනයේදී අනිවාර්ය ආරක්ෂක ක්‍රියාමාර්ග දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසත්, මෙවැනි අනතුරු යළි සිදුවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දී තිබේ.



