ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනකු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ කොළඹ කොටුව ප්‍රදේශයේ ක්‍රියාත්මක මුදල් හුවමාරු ආයතනයක් මගින් භාණ්ඩ ආනයනයකින් තොරව ඇමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදේශයට මාරු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.
පොලිසිය සඳහන් කළේ අදාළ මුදල් මාරු කිරීම බැංකු ගිණුම් සහ මාර්ග කිහිපයක් ඔස්සේ සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
ශ්‍රී ලංකාවට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර මෙතරම් විශාල විදේශ මුදල් ප්‍රමාණයක් විදේශගත කිරීමට හැකි වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.
එම මුදල් ගනුදෙනුව සඳහා අදාළ බැංකු පද්ධතිය තුළින් ලබාදුන් සහාය කුමක්ද යන්න සම්බන්ධයෙන්ද විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් සිව්දෙනාගෙන් ප්‍රකාශ ලබාගනිමින් විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කළේය.
මෙම දැවැන්ත විදේශ මුදල් හුවමාරුවට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් සහ ආයතන සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් විදේශගත කිරීමට අදාළව නීති උල්ලංඝනයක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන්ද ඉදිරියේදී තොරතුරු අනාවරණය වනු ඇත.



