නැගෙනහිර පළාතේ පාසල් සඳහා බෙදාහැරීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ රුපියල් ලක්ෂ 8කට අධික වටිනාකමකින් යුත් පෙළපොත් තොගයක් අස්ථානගත කර කඩදාසිවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නැගෙනහිර පළාතේ පාසල් සඳහා බෙදාහැරීමට නියමිතව තිබූ පළමු ශ්‍රේණියේ දෙමළ භාෂා ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් 19,892කින් සමන්විත තොගයක් මෙලෙස අස්ථානගත වී ඇති බවයි.
අදාළ පොත් තොගය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රවාහන ආයතනයකට භාරදී තිබූ අතර, එය නැගෙනහිර පළාතේ බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට නියමිතව තිබිණි.
කෙසේ වෙතත් පොත් තොගය නියමිත ස්ථාන වෙත බෙදා නොහැරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක විසින් තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කර තිබේ.
එම විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පොත් තොගය ප්‍රවාහනය කළ ලොරි රථයේ රියදුරු විසින් එම පොත් අලව්ව ප්‍රදේශයේ අබලි ද්‍රව්‍ය මිලදී ගන්නා පුද්ගලයකුට කඩදාසි කිලෝග්‍රෑමයක් රුපියල් 25 බැගින් අලෙවි කර ඇති බවයි.
පොත් තොගයේ බර කිලෝග්‍රෑම් 1,700කට ආසන්න බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පසුව එම අබලි ද්‍රව්‍ය වෙළෙන්දා විසින් පොත් තොගය කිලෝග්‍රෑමයක් රුපියල් 40 බැගින් නාරම්මල ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කර ඇති අතර, ඔහු විසින් එය තවත් පුද්ගලයකුට කිලෝග්‍රෑමයක් රුපියල් 50 බැගින් අලෙවි කර ඇති බව පොලිසිය පවසයි.
අනතුරුව එම පොත් තොගය වත්තල ප්‍රදේශයේ පැරණි කඩදාසි සහ කාඩ්බෝඩ් එකතු කර යන්ත්‍රානුසාරයෙන් සකස් කර අපනයනය කරන ආයතනයකට අලෙවි කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අයට එරෙහිව රජයේ දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සහ රජයට අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
මේ අතර අදාළ පෙළපොත් තොගය අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර විමර්ශන කමිටුවක්ද පත්කර තිබේ.



