29.2 C
Galle

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ සිදුවීමට 17 හැවිරිදි පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා නැවතත් පරිවාසයට

Published:

කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් ක්‍රීඩා සමාජ පරිශ්‍රයේදී සේවකයෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලබන අගෝස්තු 24 වනදා දක්වා නැවතත් පරිවාස භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළේය.

පසුගිය අගෝස්තු 08 වනදා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී සිදුවූ පහරදීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සේවකයෙක් මියගොස් තිබිණ. මෙලෙස මියගියේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි සුමිත් ප්‍රනාන්දු නැමැති අයෙකි.

කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, පුහුණුවීම්වල නිරත වෙමින් සිටි ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් ජලය පානය කිරීමට කරාමය වෙත ගිය අවස්ථාවේදී ජලය නොමැති වීම හේතුවෙන් මෙම ආරවුල හටගෙන ඇති බවයි.

එහිදී සේවකයා සහ ක්‍රීඩකයින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති අතර, සේවකයා විසින් පළමුව ක්‍රීඩකයෙකුට පහරදීමට උත්සාහ කර පසුව අදාළ 17 හැවිරිදි ක්‍රීඩකයාට පහරදීමට තැත් කිරීමේදී මෙම ගැටුම හටගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මියගිය සුමිත් මහතා කලක සිට හෘද රෝගයෙන් පෙළෙමින් සිටි අයෙකු වන අතර, ඔහුගේ මරණය පහරදීම හේතුවෙන් සිදුවූවක්ද නැතහොත් පවතින රෝගී තත්ත්වය හේතුවෙන් සිදුවූවක්ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වේ.

මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා ශරීර කොටස් සාම්පල පරීක්ෂාවට යොමුකර ඇත.

මේ අතර, මාකොළ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටියදී මෙම සැකකාර සිසුවා වෙනත් පිරිමි ළමයෙකුගේ පහරදීමට ලක්ව රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව සැකකරුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

විවිධ අවශ්‍යතා සහිත බාලවයස්කරුවන් එකම පරිවාස පහසුකම් යටතේ රඳවා තැබීම පිළිබඳව මෙහිදී මහේස්ත්‍රාත්වරයා සිය කනස්සල්ල පළ කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට පරිවාස නිලධාරීන්ට නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණය අගෝස්තු 24 වනදා දක්වා කල් තබන ලදී.

Related articles

spot_img
error: Content is protected !!