31.2 C
Galle

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Published:

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමා ඉහළ නැංවීම ඇතුළු ප්‍රතිපාදන ඇතුළත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආසනවලින් නැගී සිට පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධය පළ කළහ.

යෝජිත සංශෝධනයේ ප්‍රධාන අරමුණක් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමා ඉහළ නැංවීමයි.

ඒ අනුව පනත් කෙටුම්පත සම්මත වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවීමට නියමිතය.

ඊට සමගාමීව ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත මගින් මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ඒවායේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කිරීමටද අවස්ථාව හිමි වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කිරීමට දින 14ක කාලසීමාවක් පවතී.

එවැනි පෙත්සම් ඉදිරිපත් වුවහොත් ඒවා විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත දැනුම් දිය යුතුය.

මේ අතර පනත් කෙටුම්පත්වලට එරෙහිව විරෝධය පළ කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය මීට පෙර තීරණය කර තිබිණි.

විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී මෙම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

රජය පවසන්නේ අධිකරණ පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීම, මහජන විශ්වාසය ශක්තිමත් කිරීම සහ සංකීර්ණ නඩු කටයුතු කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා විනිසුරුවරුන්ගේ සේවා කාලය සම්බන්ධයෙන් මෙම සංශෝධන අවශ්‍ය බවයි.

අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ දූෂණ හා වංචා සම්බන්ධ නඩු කටයුතු කඩිනම් කිරීමද මෙහි අරමුණු අතර පවතින බව රජයේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වී තිබේ.

කෙසේ වෙතත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සහ නීති ක්ෂේත්‍රයේ පාර්ශ්ව රැසක් මීට පෙර විවිධ අදහස් පළ කර තිබිණි.

විශේෂයෙන් අධිකරණයේ ස්වාධීනත්වය, විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමෙන් ඇතිවිය හැකි බලපෑම් සහ අධිකරණ පද්ධතියේ ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙළ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

ඒ අනුව පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒවායේ ව්‍යවස්ථානුකූලභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වයට ඇති විය හැකි බලපෑම් පිළිබඳව පාර්ලිමේන්තුවේ මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේද තීරණාත්මක සංවාදයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related articles

spot_img
error: Content is protected !!