31.2 C
Galle

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති

Published:

ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයට සහ බෞද්ධ සංස්කෘතියට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ සම්මානනීය ගී පද රචකයකු සහ ග්‍රන්ථ කතුවරයකු වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අද (18) පස්වරුවේ අපවත් වූහ.

අපවත් වන විට උන්වහන්සේ 76 වැනි වියේ පසුවූහ. අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වූ බව සඳහන් වේ.

1950 මැයි 22 වැනිදා දෙණියාය රඹුකන ප්‍රදේශයේදී ලියනගේ සයිමන් සහ සෝබනහාමි ලියනගේ යුවළට දාව උපත ලැබූ උන්වහන්සේගේ ගිහි නම වූයේ ආනන්ද ලියනගේ ය.

සහෝදර සහෝදරියන් හයදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වූ උන්වහන්සේ 1963 ජූලි 22 වැනිදා වැලිව ගංගාතිලක විහාරස්ථානයේදී ‘රඹුකන සිද්ධාර්ථ’ නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ. 1972 වසරේදී මහනුවර මල්වතු මහාවිහාර උපෝසථාගාරයේදී උපසම්පදාව ලබා තිබේ.

මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ ගාල්ල හෙට්ඨාවල පිරිවෙන සහ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන හරහා අධ්‍යාපනය ලබා පසුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂ උපාධියක්ද හදාරා ඇත.

බෞද්ධ සංස්කෘතිය, ආදරය, මනුෂ්‍යත්වය සහ සමාජ ජීවිතය ඇතුළු විවිධ තේමා ඔස්සේ ගී පද රචනා කළ උන්වහන්සේ මෙරට ගීත රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ ගීත රැසක නිර්මාණකරුවා වූහ.

‘ලා දළු බෝපත්’, ‘මේ ඉර හඳ යට’, ‘සඳ තරු මල්’, ‘බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති’, ‘සෙනෙහස පුදා’, ‘බුදු බණ ඇසුවා’, ‘මේ ප්‍රේම කතා’, ‘අව්වට වැස්සට හුරු මිනිසුන්නේ’, ‘වෙහෙරක් වගේ’, ‘පන්සලේ පල්ලියේ’ සහ ‘සියක් ආයු ලැබ’ වැනි ගීත ඒ අතර වේ.

‘සඳකඩපහණ’ චිත්‍රපටය වෙනුවෙන් රචනා කළ ‘පෙර සංසාරේ’ ගීතය වෙනුවෙන් සරසවිය සම්මානයෙන් පිදුම් ලැබූ උන්වහන්සේ, ‘ආලෝකෝ උදපාදී’ චිත්‍රපටය සඳහා රචනා කළ ‘සැඩ පහරක් සේ එකමුතු වූ දා’ ගීතය වෙනුවෙන් දෙරණ සිනමා සම්මානයද හිමිකර ගත්හ.

1987 වසරේ ‘සංසාරේ අපි’ කැසට් පටයෙන් ආරම්භ වූ උන්වහන්සේගේ ගී නිර්මාණ දිවිය තුළ ‘ගම්මානේ අපි’, ‘සමනල කන්ද’, ‘සංසාරේ ගී යාතිකා’, ‘බුදු අමා වැස්ස’ සහ ‘සංසාර චාරිකා’ ඇතුළු කැසට් පට සහ සංයුක්ත තැටි රැසක් නිර්මාණය වී තිබේ.

එමෙන්ම ‘සසර දනව්ව’ නමින් ගේය පද සංග්‍රහයක්ද උන්වහන්සේ විසින් රචනා කර ඇත.

ගීත රචකයකු, කතුවරයකු සහ බෞද්ධ දර්ශනය පිළිබඳ දැනුමැත්තකු ලෙස ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට මෙන්ම බෞද්ධ සංස්කෘතියටද පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගෙන් සිදුවූ සේවය අමිල වන අතර, උන්වහන්සේගේ අපවත්වීම ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට මෙන්ම බෞද්ධ සමාජයටද සිදුවූ විශාල පාඩුවකි.

Related articles

spot_img
error: Content is protected !!