පාර්ලිමේන්තුවට අද (18) ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව විවිධ පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 6ක් ගොනු කර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සමගි ජන බලවේගය, සර්වජන බලය, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඇතුළු පාර්ශ්ව මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.
යෝජිත සංශෝධනය මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ, විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වය, බලතල බෙදීම සහ ජනතා පරමාධිපත්‍යයට බලපෑම් කළ හැකි බවයි.
එමෙන්ම, පනත් කෙටුම්පත සම්මත කිරීමට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයකට අමතරව ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙසද ඇතැම් පෙත්සම් මඟින් ඉල්ලා තිබේ.
පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව ඉදිරි පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග තීරණය වනු ඇත.



