ටැක්සි සේවා භාවිත කරන මගීන්ට සොරකම්, කොල්ලකෑම් සහ බිය ගැන්වීම් ඇතුළු අපරාධවලින් ආරක්ෂා වීම සඳහා විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් මහතා පැවසුවේ ටැක්සි රියැදුරන් හෝ ටැක්සි සේවා ඔස්සේ මගීන්ට සහාය වන පුද්ගලයන් සම්බන්ධ අපරාධ පිළිබඳ වාර්තා ලැබීම හේතුවෙන් මෙම උපදෙස් නිකුත් කළ බවයි.
ටැක්සියකට ගොඩවීමට පෙර එම රථය නිසි පරිදි ලියාපදිංචි කර ඇති සේවා රථයක්ද යන්න තහවුරු කරගන්නා ලෙසත්, රථයේ ලියාපදිංචි අංකය, වර්ගය සහ රියැදුරුගේ නම පරීක්ෂා කරන ලෙසත් පොලිසිය දැනුම් දෙයි.
විශේෂයෙන් රාත්‍රී කාලයේ ගමන් කරන මගීන්ට නුපුරුදු, හුදකලා හෝ තමන් අපේක්ෂා නොකළ මාර්ගයකට රියැදුරු රථය යොමු කළහොත් දැඩි අවධානයෙන් පසුවන ලෙසද උපදෙස් ලබාදී තිබේ.
ගමන අතරතුර තමන් සිටින ස්ථානය පිළිබඳ පවුලේ සාමාජිකයකු, මිතුරකු හෝ විශ්වාසවන්ත පුද්ගලයකු දැනුවත් කර තැබීම සඳහා ජංගම දුරකථනය හරහා සජීවී ස්ථාන තොරතුරු බෙදාගන්නා ලෙසද පොලිසිය ඉල්ලා සිටී.
එමෙන්ම නොහඳුනන පුද්ගලයන් විසින් ලබාදෙන ආහාර, පාන වර්ග හෝ ජලය ලබා නොගන්නා ලෙස මගීන්ට අනතුරු අඟවා තිබේ. එවැනි ආහාර හෝ පාන ලබාදීමෙන් පසුව මගීන් සිහිසුන් වූ බවට වාර්තා ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි.
ටැක්සි ගමන්වලදී මුදල්, ජංගම දුරකථන, පරිගණක සහ රන් ආභරණ ඇතුළු වටිනා භාණ්ඩ ප්‍රසිද්ධියේ පෙන්වීමෙන් වළකින ලෙසද පොලිසිය උපදෙස් ලබාදී ඇත.
ගමන අතරතුර සැකකටයුතු තත්ත්වයක් හටගන්නේ නම් හෝ තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති බව හැඟෙන්නේ නම් වහාම පොලිස් හදිසි ඇමතුම් අංක 119 හෝ හදිසි තොරතුරු සේවා අංක 118 අමතන ලෙසත්, අදාළ රථයේ තොරතුරු සහ සිද්ධිය පිළිබඳ විස්තර ලබාදෙන ලෙසත් දැනුම් දී තිබේ.
මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති මෙම උපදෙස් ටැක්සි රියැදුරන්ටද අදාළ වන බව සඳහන් කළ පොලිසිය, මගීන් ප්‍රවාහනය කිරීමේදී නිසි වෘත්තීය හැසිරීම සහ ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස රියැදුරන්ගෙන්ද ඉල්ලා ඇත.



