විවාහ වී මාස පහකට පමණක් පසු මියගිය ඉන්දීය නිරූපිකාවක සහ රංගන ශිල්පිනියක වන ට්විෂා ශර්මාගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සහ නැන්දම්මාට එරෙහිව ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් චෝදනා පත්‍රයක් ගොනු කර තිබේ.
33 හැවිරිදි ට්විෂා ශර්මා මැයි 12 වැනිදා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බෝපාල් නගරයේ පිහිටි ඇයගේ විවාහක නිවසේදී මියගොස් තිබිණි. එම මරණය සම්බන්ධයෙන් ඝාතනයක්ද, සියදිවි නසාගැනීමක්ද යන්න පිළිබඳව පරස්පර චෝදනා මතුවීමත් සමඟ ඉන්දියාව පුරා දැඩි අවධානයක් යොමුවිය.
මධ්‍යම විමර්ශන කාර්යාංශය අධිකරණයට ඉදිරිපත් කළ පිටු 600ක පමණ චෝදනා පත්‍රයේ ට්විෂාගේ සැමියා වන නීතිඥ සමර්ත් සිං සහ ඔහුගේ මව වන විශ්‍රාමික විනිසුරුවරියක වන ගිරිබාලා සිංට “සියදිවි නසාගැනීමට අනුබල දීම” සහ “කෲරත්වය” යන චෝදනා එල්ල කර තිබේ.
චෝදනා පත්‍රයට අනුව විවාහයෙන් පසු සමර්ත් සිං විසින් ට්විෂාට අවස්ථා කිහිපයකදී මානසික හිංසනය සිදුකර ඇති අතර, ගිරිබාලා සිංද සිය පුත්‍රයා එවැනි හැසිරීම්වලට පෙළඹවූ බව විමර්ශකයන් පවසයි.
“අඛණ්ඩ මානසික කෲරත්වය හේතුවෙන් ඇයට සිය ජීවිතය අවසන් කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබූ බව” මධ්‍යම විමර්ශන කාර්යාංශය අධිකරණයට දන්වා ඇත.
ට්විෂාගේ මව්පියන් සහ සහෝදර සහෝදරියන් චෝදනා කර ඇත්තේ දෑවැදි ඉල්ලීම් සම්බන්ධයෙන් ඇයට සැමියා සහ නැන්දම්මා විසින් හිරිහැර කළ බවත්, ඇය ඝාතනය කර ඇති බවත්ය.
කෙසේ වෙතත් ගිරිබාලා සිං එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඒවා පදනම් විරහිත බව පවසා ඇති අතර, ට්විෂා මානසික සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳි බවත් ඇය සියදිවි නසාගත් බවත් ප්‍රකාශ කර තිබේ. ඇයගේ නීතිඥවරයාද දෑවැදි හිරිහැර හෝ ඝාතනයකට අදාළ සාක්ෂි විමර්ශනයෙන් හමු වී නොමැති බව පවසා ඇත.
විමර්ශන වාර්තාවට අනුව ට්විෂා සහ සමර්ත් සිං 2025 පෙබරවාරි මාසයේදී ආලය සම්බන්ධ ජංගම යෙදුමක් ඔස්සේ හඳුනාගෙන ඇති අතර එම වසරේ දෙසැම්බර් මාසයේදී විවාහ වී තිබේ.
ට්විෂාගේ පවුල පවසන්නේ ඇය ගැබ්ගැනීමෙන් පසු අප්‍රේල් මාසයේදී ඇය සහ විවාහක පවුල අතර ගැටලු උග්‍ර වූ බවයි. සැමියා සහ නැන්දම්මා ඇයගේ චරිතය පිළිබඳ සැක පළකරමින් ගැබ් ගැනීම පිළිබඳ චෝදනා කළ බවත්, මැයි මුල් සතියේදී ගබ්සාවකට බල කළ බවත් ඔවුහු චෝදනා කරති.
එම චෝදනාද ගිරිබාලා සිං ප්‍රතික්ෂේප කර ඇති අතර, ගැබ් ගැනීම අවසන් කිරීමට ට්විෂාම කැමැත්ත පළකළ බව ඇය සඳහන් කර ඇත.
මරණයෙන් දින කිහිපයකට පසුව ගිරිබාලා සිං මාධ්‍ය හමුවක් පවත්වා ට්විෂාගේ මානසික තත්ත්වය පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් පළකිරීම හේතුවෙන්ද දැඩි විවේචනයට ලක්විය. එහිදී ඇය ට්විෂාගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් කළ ප්‍රකාශ සමාජය තුළ දැඩි ආන්දෝලනයකට හේතු විය.
ට්විෂා ශර්මා 2012 වසරේ පුනේ නගරයේ රූපලාවණ්‍ය තරගයක ජයග්‍රහණය කර “මිස් පුනේ” ලෙස කිරුළ හිමිකරගෙන තිබූ අතර වෙළෙඳ දැන්වීම් රැසකටද එක්ව තිබේ. ඇය තෙළිඟු භාෂා චිත්‍රපටයකද රංගනයෙන් දායක වී ඇති අතර මෑත කාලයේ පෞද්ගලික සමාගම්වල අලෙවි ක්ෂේත්‍රයේද සේවය කර තිබේ.
මෙම නඩුව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන අවශ්‍ය විය හැකි බව මධ්‍යම විමර්ශන කාර්යාංශය අධිකරණයට දන්වා ඇති අතර, නව සාක්ෂි හමුවුවහොත් අතිරේක චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමටද හැකි බව සඳහන් කර තිබේ.
ට්විෂාගේ මරණය සියදිවි නසාගැනීමක්ද, ඊට වෙනත් පාර්ශ්වයක වගකීමක් තිබේද යන්න පිළිබඳ අවසන් තීරණය අධිකරණ ක්‍රියාවලියෙන් තීරණය වීමට නියමිතය.



