ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මිය නුගේගොඩ නාවල පාරේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඇය 82 වැනි වියේ පසුවූවාය.
1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම ලෙවන්දූව ප්‍රදේශයේ උපත ලැබූ නන්දා මාලනී මහත්මිය නව යොවුන් වියේදී කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූවාය. එහිදී ටී.එන්. මාග්‍රට් පෙරේරා ගුරුවරියගේ මඟපෙන්වීම යටතේ කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ ලංකා ගුවන්විදුලියේ “ළමා මණ්ඩපය” වැඩසටහනට එක්ව “බුදු සාදු” ගීතය ගායනා කරමින් ඇය සිය සංගීත දිවිය ආරම්භ කළාය.
1961 වසරේ “රන්මුතු දූව” චිත්‍රපටයේ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නාරද දිසාසේකර මහතා සමඟ “ගලන ගඟකි ජීවිතේ” ගීතය ගායනා කරමින් ඇය චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසියාය.
ඉන් අනතුරුව දශක ගණනාවක් පුරා “සන්නාලියනේ”, “රන් දහදිය බින්දු බින්දු”, “සත්‍යයේ ගීතය”, “පවන”, “හේමන්තයේදී” සහ “පෙම්බර ලංකා” ඇතුළු නිර්මාණ රැසක් හරහා ඇය ශ්‍රී ලාංකීය සංගීතයේ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගත්තාය.
ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් ශාස්ත්‍රීය සංගීතය හදාරා විශාරද උපාධිය ලබාගත් ඇය, ආගමික හා සමාජීය අර්ථයක් සහිත ගීත මෙන්ම ළමා ගීතද මෙරට රසිකයන් වෙත දායාද කළාය. 1990 වසරේ නිර්මාණය කළ “සින්දු හෝඩිය” ඒ අතර සුවිශේෂී නිර්මාණයකි.
ගායන ක්ෂේත්‍රයට කළ විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් සරසවිය සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් ඇතුළු ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබේ.
දශක හයකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ නන්දා මාලනී මහත්මියගේ අභාවය මෙරට සංගීත ක්ෂේත්‍රයට මෙන්ම සුවහසක් රසික ජනතාවටද සිදුවූ පිරිමැසිය නොහැකි පාඩුවකි.
ඇයගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව පවුලේ ඥාතීන් විසින් ඉදිරියේදී දැනුම්දීමට නියමිතය.



