ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් පවතින නීතිය සංශෝධනය කරමින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී බෙදීමකින් තොරව සම්මත විය.
1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීමේ පනත යටතේ ඇතැම් වැරදි සඳහා පැවැති රුපියල් 10,000ක දඩ මුදල රුපියල් 100,000 දක්වා ඉහළ නැංවීම මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණකි. පනත් කෙටුම්පතේ 7(3), 13(2) සහ 20ඒ(3) වගන්තිවලට අදාළ දඩ මෙලෙස ඉහළ දැමීමට නියමිතය.
රජය පවසන්නේ වර්තමාන තත්ත්වයට සාපේක්ෂව පැවැති දඩ මුදල ප්‍රමාණවත් නොවන බැවින්, ළමා සහ තරුණ ශ්‍රමය සම්බන්ධ වැරදිවලට වඩාත් ප්‍රබල වැළැක්වීමක් ඇති කිරීම සඳහා මෙම සංශෝධනය ගෙන ආ බවයි. එම සංශෝධනය ශ්‍රී ලංකාව අනුමත කර ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 138 සහ 182 සම්මුතීන්ට අනුකූල වන පරිදි සකස් කර ඇති බවද රජය සඳහන් කරයි.
1956 පනත යටතේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන් තහනම් වේ. අවුරුදු 16ට වැඩි නමුත් 18ට අඩු තරුණයන් සේවයේ යෙදවීමේදීද ඔවුන්ගේ ආරක්ෂාව, සෞඛ්‍යය සහ සදාචාරය ආරක්ෂා වන පරිදි විශේෂ කොන්දේසි සහ රෙගුලාසි අනුගමනය කිරීමට සේවා යෝජකයන්ට සිදුවේ. විශේෂයෙන් අනතුරුදායක රැකියා සඳහා ළමුන් හා තරුණයන් යෙදවීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි.
කම්කරු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ දැනට ළමා ශ්‍රමය සම්බන්ධයෙන් අනතුරුදායක රැකියා 50ක් හඳුනාගෙන ඇති අතර, එම ලැයිස්තුව තවත් රැකියා 30ක් ඇතුළත් කරමින් පුළුල් කිරීමටද කටයුතු කර ඇත.
මෙම පනත් කෙටුම්පත 2026 ජූලි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර, කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත මහතා එය ඉදිරිපත් කළේය. අද දෙවැනි වර කියවීමෙන් අනතුරුව විවාදයට ගෙන සම්මත කර තිබේ.
ඒ අනුව, නව සංශෝධනය යටතේ අදාළ නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ ළමුන් සහ තරුණයන් නීතිවිරෝධී හෝ අනතුරුදායක සේවාවල යෙදවීමට එරෙහිව පනවා ඇති දඩුවම් වඩාත් දැඩි වනු ඇත.



