30 C
Galle

විශ්ව විද්‍යාල සිසුන් සැළකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා

Published:

විශ්ව විද්‍යාල සිසුන් සැළකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව මහාචාර්ය අමිල ඉසුරු මහතා පවසයි.

විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පාඨමාලා සම්පූර්ණ කිරීමට නොහැකිව විශ්වවිද්‍යාලයෙන් ඉවත්වන පිරිමි සිසුන්ගෙන් සියයට 70ත් 80ත් අතර පිරිසක් කිසියම් මත්ද්‍රව්‍යයකට ඇබ්බැහිවීමේ තත්ත්වයට පත්ව ඇති බව නිරීක්ෂණවලින් පෙනී යන බවයි ඔහු පවසන්නේ.

විශ්වවිද්‍යාල සිසුන් සහ තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක “රටම එකට” ජාතික වැඩසටහනේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් එය අඛණ්ඩව භාවිත කරන්නේ එමඟින් ලැබෙන සතුට පමණක් හේතුවෙන් නොව, භාවිතය නතර කළ විට ඇතිවන විරමන ලක්ෂණ පාලනය කරගැනීම සඳහා බවයි.

මත්ද්‍රව්‍ය භාවිතය දිගුකාලීනව සිදුවන විට ශරීරය එයට හුරු වීම හේතුවෙන් භාවිතය නතර කිරීමේදී විවිධ විරමන ලක්ෂණ මතුවිය හැකි බවත්, එම තත්ත්වය පාලනය කරගැනීමට නැවත මත්ද්‍රව්‍ය භාවිත කිරීමට පුද්ගලයන් පෙළඹිය හැකි බවත් ඔහු පැවසීය.

පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධති ආශ්‍රිත පර්යේෂණ හා නිරීක්ෂණවලින් තරුණයන් මත්ද්‍රව්‍යවලට හුරු කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද ඔහු සඳහන් කළේය.

විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාසල් දරුවන් සහ විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු කරවීමට විවිධ උත්සාහයන් දරන බවට තොරතුරු හා නිරීක්ෂණ පවතින බවද මහාචාර්ය අමිල ඉසුරු මහතා පැවසීය.

මේ තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් තරුණ පරපුර ඉලක්ක කිරීම වැළැක්වීමට වඩාත් ශක්තිමත් ක්‍රියාමාර්ග අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය ඇබ්බැහිය හඳුනා ගැනීම, ප්‍රතිකාර සහ උපදේශන සේවා වෙත සිසුන් යොමු කිරීම මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වැළැක්වීමේ වැඩසටහන් ශක්තිමත් කිරීමද අත්‍යවශ්‍ය බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

මෙවැනි දත්ත මත පදනම්ව තරුණයන් මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කර ගැනීම සඳහා අධ්‍යාපන ආයතන, දෙමාපියන් සහ සමාජයේ සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!