30 C
Galle

කෝවිල් උත්සවයකදී ගිනිකෙළි හා ලේසර් කිරණ වැදී 166ක් රෝහලේ

Published:

යාපනය පණ්ඩතරිප්පු ප්‍රදේශයේ කෝවිලක ඊයේ (20) පැවති උත්සවයක් අතරතුර අධික ලෙස ගිනිකෙළි භාවිත කිරීම සහ අධි බලැති ලේසර් කිරණ යොදාගැනීම හේතුවෙන් පුද්ගලයන් 166 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

රෝහල්ගත කළ පිරිස අතර කුඩා දරුවන් සහ කාන්තාවන්ද සිටින බව වාර්තා වේ.

උත්සවය අතරතුර විශාල වශයෙන් ගිනිකෙළි දල්වා ඇති අතර, පැවැති ප්‍රසංගයකදී අධි බලැති ලේසර් කිරණ භාවිත කර ඇති බව සඳහන් වේ. ඒ හේතුවෙන් බොහෝ දෙනෙකුට ඇස් දැවිල්ල, දෘෂ්ටි අපහසුතා සහ අනෙකුත් අක්ෂි ආබාධ මතුව තිබේ.

මූලික තොරතුරුවලට අනුව යාපනය ශික්ෂණ රෝහලට පුද්ගලයන් 120 දෙනෙකුද, තෙලිප්පලෙයි මූලික රෝහලට තවත් 46 දෙනෙකුද ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තංගමුත්තු සත්‍යමූර්ති මහතා සඳහන් කළේ රෝහල්ගත කළ පිරිස අතර ළමුන් 40 දෙනෙකු පමණ සිටින බවයි.

පීඩාවට පත්වූ සියලු දෙනාට මේ වනවිට ප්‍රතිකාර ලබාදෙමින් පවතින අතර, කිසිදු පුද්ගලයකුට බරපතළ හෝ විශාල ප්‍රමාණයේ අක්ෂි හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් තවදුරටත් රෝගීන් වාර්තා විය හැකි බැවින් සෞඛ්‍ය අංශ විසින් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අදාළ බලධාරීන් පරීක්ෂණ සිදුකරමින් සිටී.

Related articles

spot_img
error: Content is protected !!