කිමෝ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ෆිල්ග්‍රැස්ටීම් එන්නතේ තාවකාලික හිඟයක් හේතුවෙන් රෝගීන් අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී ඊයේ (20) මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා ස්ථාවර නියෝග යටතේ කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ෆිල්ග්‍රැස්ටීම් එන්නත කිමෝ ප්‍රතිකාර හේතුවෙන් සුදු රුධිරාණු ප්‍රමාණය අඩුවන පිළිකා රෝගීන්ට ලබාදෙන අතර, එය ආසාදනවලට ගොදුරුවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වේ. එම නිසා ඇතැම් අවස්ථාවල මෙම ඖෂධය නොමැති වීම කිමෝ ප්‍රතිකාර අඛණ්ඩව ලබාදීම කෙරෙහිද බලපෑම් ඇති කළ හැකි බව අමාත්‍යවරයා පැවසීය.
මෙරටට වසරකට ෆිල්ග්‍රැස්ටීම් එන්නත් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, මහරගම අපේක්ෂා රෝහලට පමණක් මාසිකව එන්නත් 9,750ක් පමණ අවශ්‍ය බව සඳහන් වේ.
මෙම වසර සඳහා එන්නත් 310,000ක් ගෙන්වීමට සැලසුම් කර තිබූ අතර, ඉන් 160,000ක තොගයක් පසුගිය මැයි 18 වැනිදා මෙරටට ගෙන්වා තිබේ.
කෙසේ වෙතත් එම එන්නත් තොගයේ පිටත ඇසුරුමේ නිසි ලේබලය තිබුණද, සිරින්ජරය මත අවශ්‍ය ලේබලය නොතිබීම හේතුවෙන් ඖෂධ නියාමන ප්‍රතිපාදන යටතේ තොගය නිදහස් කර බෙදාහැරීමට නොහැකි වී ඇති බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවසීය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නීති සහ ලේබල් කිරීමේ අවශ්‍යතා හේතුවෙන් මතුවී ඇති ගැටලුවක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඖෂධයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලුවක් නොව, නියාමන අවශ්‍යතා සපුරාලීමේ ගැටලුවක් හේතුවෙන් තොගය නිකුත් කිරීමට නොහැකි වී ඇති බව ඔහු පැවසීය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ ලේබලයේ වෙනස්කම් නියාමන ක්‍රියාවලියේ වැදගත් කොටසක් ලෙස සලකයි.
මෙම තත්ත්වය හේතුවෙන් ජූලි මාසයේ සිට පෞද්ගලික අංශයෙන් ෆිල්ග්‍රැස්ටීම් ලබාගැනීමට අවස්ථාව ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එහෙත් පෞද්ගලික වෙළෙඳපොළෙන් එන්නත මිලදී ගැනීමට ඇතැම් රෝගීන්ට රුපියල් 23,000ක් පමණ වැය කිරීමට සිදුවන බව මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.
හිඟය කඩිනමින් විසඳීම සඳහා සැපයුම්කරුවන්ට අදාළ ඖෂධ තොගයක් ගුවන් මගින් කඩිනමින් මෙරටට ගෙන්වන ලෙස දැනුම්දී ඇති බවද අමාත්‍යවරයා පැවසීය. ඉදිරි සතියක පමණ කාලය තුළ යම් ප්‍රමාණයක් ලබාගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම 2027 වසර සඳහා අවශ්‍ය එන්නත් 330,000ක් ගෙන්වීම සඳහාද මේ වනවිට අනුමැතිය ලබාදී ඇති අතර, එම සැපයුමෙන්ද කොටසක් කඩිනමින් ලබාගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය. රෝගීන්ගේ ජීවිත ආරක්ෂාව සහ ඖෂධ නියාමන නීති දෙකම සලකා බලමින් මෙම ගැටලුව කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ ආයතන සමඟ සාකච්ඡා පවත්වමින් රෝගීන්ට සිදුවන අපහසුතාව අවම කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
ෆිල්ග්‍රැස්ටීම් වැනි පිළිකා ප්‍රතිකාරයට සම්බන්ධ අත්‍යවශ්‍ය ඖෂධ හිඟය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ අඛණ්ඩ ඖෂධ සැපයුම සම්බන්ධ ගැටලු පිළිබඳවද නැවත අවධානය යොමු කර තිබේ. මීට පෙරද වෛද්‍ය පාර්ශ්ව විසින් ෆිල්ග්‍රැස්ටීම් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ හිඟය පිළිබඳව අවධානය යොමු කර තිබිණි.



