29.5 C
Galle

බදුල්ල රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා අතුරුදන් – මෝටර් රථය අලි ගැවසෙන ප්‍රදේශයකින් හමුවෙයි

Published:

බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කරන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් දයාරත්න මහතා අතුරුදන්ව ඇති අතර, ඔහුගේ මෝටර් රථය බදුල්ල–මහියංගනය මාර්ගයේ මාපාකඩවැව 17 කණුව ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබේ.

වෛද්‍යවරයා ඊයේ (23) උදෑසන බදුල්ල ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිට ඇති නමුත් ඉන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොලැබුණු බව පොලිසිය පවසයි. ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයකු බවද වාර්තා වේ.

වෛද්‍යවරයාගේ මෝටර් රථය මහියංගනය දෙසට ගමන් කරන ආකාරය මීගහකිවුල ප්‍රදේශයේ සීසීටීවී කැමරාවක සටහන් වී තිබීමත් සමඟ පොලිසිය ඒ ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ. පසුව කළ සොයාබැලීමේදී මෝටර් රථය බදුල්ල–මහියංගනය ප්‍රධාන මාර්ගයේ 17 කණුව ආසන්නයේදී හමුවී ඇත.

පොලිසිය සඳහන් කළේ මෝටර් රථය හමුවූ ස්ථානය අවට අලි ගැවසෙන කැලෑ ප්‍රදේශයක් බවයි. ඒ හේතුවෙන් වෛද්‍යවරයා සොයා සිදුකරන මෙහෙයුම්වලදී විශේෂ ආරක්ෂක පියවරද ගෙන තිබේ.

වෛද්‍යවරයා සොයා අද (24) පොලිසිය, අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ යුද හමුදාව එක්ව ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කිරීමට නියමිත බව පොලිසිය පැවසීය. මහියංගනය පොලිසිය සහ වනජීවී නිලධාරීන්ද මෙහෙයුමට එක්ව ඇති බව වාර්තා වේ.

මේ වනවිට වෛද්‍යවරයා අතුරුදන්වීමට හේතුවක් හෝ ඔහු සිටින ස්ථානයක් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති අතර, සීසීටීවී දර්ශන, දුරකථන සහ අනෙකුත් තොරතුරු ඔස්සේ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.

වෛද්‍යවරයා සම්බන්ධයෙන් තොරතුරක් ලැබෙන ඕනෑම අවස්ථාවක ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසද පොලිසිය ඉල්ලා සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සහ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, වෛද්‍යවරයා පිළිබඳ නව තොරතුරු ලැබුණු වහාම ඒ අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!