අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරීරය අද (24) උදෑසන මහියංගනය, මාපාකඩ 17 කණුව ප්‍රදේශයේදී සොයාගෙන තිබේ.
මහියංගනය පොලිසිය සඳහන් කළේ වියානා ඇළ ආසන්නයේ අතහැර දමා තිබූ මෝටර් රථයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව විමර්ශන ආරම්භ කළ බවයි.
අදාළ මෝටර් රථය ඊයේ (23) රාත්‍රියේ සිට එම ස්ථානයේ නවතා තිබූ අතර, එය අතුරුදන්ව සිටි වෛද්‍යවරයාට අයත් බවට අනාවරණය වීමෙන් අනතුරුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සෙවීම් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
එහිදී මෝටර් රථය නවතා තිබූ ස්ථානයට ආසන්න වන ලැහැබක තිබී වෛද්‍යවරයාගේ මෘත ශරීරය සොයාගෙන ඇත.
සිරුර ආසන්නයේ තිබී ඖෂධ පෙති වර්ගයක්ද සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
වෛද්‍යවරයා ඊයේ උදෑසන බදුල්ල ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිට ඇති අතර, ඉන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොලැබීම හේතුවෙන් සොයාබැලීම් ආරම්භ කර තිබිණි.
මීගහකිවුල ප්‍රදේශයේ සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ ඔහුගේ මෝටර් රථය මහියංගනය දෙසට ගමන් කර ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී තිබේ.
මේ අතර මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, වෛද්‍යවරයාගේ මරණයට හේතුව සම්බන්ධයෙන් එම පරීක්ෂණවලින් පසුව තොරතුරු අනාවරණය වනු ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



