විනිසුරුවරුන්, නීතිඥවරුන් හෝ වෙනත් පුද්ගලයන් සම්බන්ධයෙන් තහවුරු නොකළ චෝදනා මත පුද්ගලික ප්‍රහාර එල්ල කිරීමෙන් යුක්තිය පසිඳලීම පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීමටත්, අධිකරණ ක්‍රියාවලියේ සහ සමස්ත යුක්ති පද්ධතියේ ස්වාධීනත්වයට හා අඛණ්ඩතාවයට බලපෑම් ඇතිවීමටත් ඉඩ ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
ඒ අනුව විනිසුරුවරුන්, නීතිඥවරුන් සහ අනෙකුත් පුද්ගලයන් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමේදී සියලු පාර්ශ්ව වගකීමෙන් කටයුතු කළ යුතු බවද සංගමය අවධාරණය කරයි.
අගෝස්තු 27 වැනිදා, හ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක නීතිඥ සංගමය මේ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පසුගිය කාලයේ සමාජ මාධ්‍ය සහ වෙනත් වේදිකා ඔස්සේ පදනම් රහිත ප්‍රහාරවලට ලක්ව ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එමෙන්ම, අධිකරණය සම්බන්ධ සැබෑ ගැටලු හෝ විශ්වාසනීය චෝදනා මතුවන්නේ නම් ඒවා විමර්ශනය කර, සාධාරණත්වයට සහ නිසි ක්‍රියාපටිපාටියට ගරු කරමින් නීතියෙන් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත ක්‍රමවේද ඔස්සේ විසඳිය යුතු බවද නීතිඥ සංගමය පෙන්වා දෙයි.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය” ලෙස නම් කර ඇති පනත් කෙටුම්පත මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ජනතාවගේ අයිතිවාසිකම්වලට බරපතළ බලපෑමක් ඇතිවිය හැකි බැවින් ඊට විරුද්ධ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
පනත් කෙටුම්පත සම්මත වුවහොත් එයින් ප්‍රතිලාභ ලබන පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා අගවිනිසුරුවරයා වන බවත්, ඔහුගේ ධුර කාලය 2026 දෙසැම්බර් 1 වැනිදා අවසන් වීමට නියමිත බැවින් එය දීර්ඝ කිරීම සඳහා සංශෝධනය කඩිනමින් ගෙන එන බවට පුළුල් මතයක් පවතින බවත් සංගමය සඳහන් කරයි.
කෙසේ වෙතත්, අධිකරණය ඇතුළු සියලු මහජන ආයතන නීත්‍යනුකූල විමර්ශනයට සහ වගවීමට යටත් විය යුතු බවද විනිසුරුවරුන්ගේ හැසිරීම සහ නඩු තීන්දු සම්බන්ධයෙන් සාධාරණ හා කරුණු මත පදනම් වූ විවේචනයකට ඉඩ තිබිය යුතු බවද එහි සඳහන්ය.
එහෙත් තහවුරු නොකළ චෝදනා මත පුද්ගලික ප්‍රහාර එල්ල කිරීමෙන් අධිකරණය පිළිබඳ මහජන විශ්වාසයට සහ යුක්ති පද්ධතියේ ස්වාධීනත්වයට හානි විය හැකි බව සංගමය අනතුරු අඟවයි.
අධිකරණයේ ස්වාධීනත්වය යනු කිසිදු පුද්ගලයකු විමර්ශනයෙන් හෝ වගවීමෙන් ආරක්ෂා කිරීමක් නොවන බවත්, එය ජනතාවගේ අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍යය සහ ව්‍යවස්ථාමය පාලනය ආරක්ෂා කරන ආරක්ෂණයක් බවත් නීතිඥ සංගමය අවධාරණය කරයි.
ඒ අනුව අධිකරණයට ගරු කරමින්, සැබෑ ගැටලු මතුවන්නේ නම් ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිය මඟින් ස්ථාපිත ක්‍රියාපටිපාටි ඔස්සේ සාධාරණව සහ වගකීම්සහගතව විසඳන ලෙස රජය, අදාළ පාර්ශ්ව සහ මාධ්‍යයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා තිබේ.



